කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (17) දිනය අවසානයේදී දැවැන්ත කඩාවැටීමක් වාර්තා කළේය. දින කිහිපයක් පුරා පැවති ස්ථාවරත්වය බිඳ දමමින් සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 521.17කින් පහළ ගිය අතර, දිනය අවසානයේ එය ඒකක 20,418.09ක් ලෙස සටහන් විය.
ගෝලීය සහ දේශීය වශයෙන් පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, අද දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 05ක් ලෙස වාර්තා වීම විශේෂත්වයකි. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට 103$ දක්වා ඉහළ යාම සහ ඉන්ධන අර්බුදය හමුවේ දේශීය ව්‍යාපාරික ක්ෂේත්‍රය මත එල්ල වී ඇති පීඩනය මෙම පසුබෑමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මීට අමතරව, රජය විසින් ඉන්ධන පිරිමැසීම සඳහා හඳුන්වා දුන් “බදාදා නිවාඩුව” සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බවට වෙළඳ අමාත්‍යවරයා කළ අනතුරු ඇඟවීම් හමුවේ ආයෝජකයන් යම් පසුබෑමක් පෙන්නුම් කර තිබේ. කෙසේ වෙතත්, අද දින අමාත්‍ය මණ්ඩලය විසින් මූල්‍ය සහ බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා ගත් තීරණ මෙන්ම 2025 වසරේ වාර්තා වූ 21.4%ක ණය වර්ධනය වැනි සාධක ඉදිරි දිනවලදී වෙළඳපොළ කෙරෙහි කෙබඳු බලපෑමක් කරනු ඇතිද යන්න පිළිබඳව ආයෝජකයෝ දැඩි අවධානයෙන් පසුවෙති.














