මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය හමුවේ මතුව ඇති බලශක්ති අර්බුදයට පිළියමක් ලෙස ශ්‍රී ලංකාව ඇණවුම් කළ ඉන්ධන තොගයක් රැගත් තවත් නෞකාවක් අද (17) පස්වරුවේ කොළඹ වරායට සේන්දු විය. හොංකොං රාජ්‍යයට අයත් ‘සීෆ්‍රොන්ටියර්’ (Seafrontier) නමැති මෙම නෞකාව මගින් මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය ඉන්ධන වර්ග කිහිපයක්ම රැගෙන විත් ඇති බව වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය තහවුරු කරයි.
නෞකාව මගින් රැගෙන ආ ඉන්ධන තොගයට 90 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක්, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් සහ සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් 2,800ක් ඇතුළත් වේ. මෙහි පළමු අදියර ලෙස අද උදෑසන කෙරවලපිටිය ගබඩාව වෙත ඉන්ධන ගොඩබෑම සිදු කළ අතර, ඉතිරි කොටස කොළඹ වරායේ ඩොල්පින් ජැටිය හරහා කොලොන්නාව ගබඩාව වෙත සම්ප්‍රේෂණය කිරීම අද පස්වරුවේ ආරම්භ කර ඇත.
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල බැරලයකට 103$ මට්ටමේ පවතින අතරතුර, රජය විසින් ඉන්ධන පිරිමැසීම සඳහා “බදාදා නිවාඩුව” පැනවීම සහ QR පද්ධතියේ ගැටලු නිරාකරණය කිරීමට පියවර ගෙන ඇති මොහොතක මෙම ඉන්ධන තොගය ලැබීම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට විශාල පිටුවහලක් වනු ඇත. විශේෂයෙන්ම දුම්රිය සේවාව ශක්තිමත් කිරීමට සහ පෞද්ගලික බස් රථ බලපත්‍ර පැවරීමේ නීති ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණ ක්‍රියාත්මක කිරීමේදී මෙම ඉන්ධන තොගය ඉතා වැදගත් වේ.














