මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය තත්ත්වය සහ ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ පවතින දැඩි අස්ථාවරත්වය හමුවේ, ශ්‍රී ලංකාවේ බලශක්ති සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශේෂ පියවරක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ අනුව, ඉදිරි මාස තුනක කාලය සඳහා සම්මත ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලින් බැහැරව, වඩාත් නම්‍යශීලී ක්‍රමවේදයක් යටතේ ඉන්ධන, එල්.පී ගෑස් සහ ගල් අඟුරු මිලදී ගැනීමට බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) පැවැති මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ අවහිරතා හේතුවෙන් නෞකා වාර අවලංගු වීම, රක්ෂණ ගාස්තු ඉහළ යාම සහ සැපයුම්කරුවන්ගේ මැලිිකම නිසා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රමවේද හරහා බලශක්ති ආනයනය කිරීම අතිශය දුෂ්කර වී ඇති බවයි. බ්‍රෙන්ට් (Brent) බොරතෙල් මිල මේ වන විට බැරලයක් ඩොලර් 100 සීමාව පසුකර ඇති අතර, රක්ෂණ ගාස්තු දශ ගුණයකින් පමණ ඉහළ ගොස් තිබීම මෙම අර්බුදයට ප්‍රධාන හේතුව වී ඇත.














