පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙතෙක් විදුලි කප්පාදුවක් සිදු කර නොමැති වුවද, ඉදිරියේදී යම් කාලසීමාවක් සඳහා විදුලිය විසන්ධි කිරීමට සිදුවීමේ හැකියාවක් පවතින බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ මේ දක්වා පැයක කාලයක්වත් විදුලිය කප්පාදු නොකර පද්ධතිය පවත්වාගෙන යාමට රජය සමත් වී ඇති බවයි. “තාම එක පැයක් විදුලිය කපන්නේ නැතුව අපි ගෙනියනවා, හැබැයි කපන්න වෙන වෙලාවකුත් තියෙන්න පුළුවන්” යනුවෙන් පැවසූ අමාත්‍යවරයා, එවැනි තත්ත්වයක් ඇති නොවීමට රජය උපරිම උත්සාහයක නිරත වන බව ද සඳහන් කළේය. මැදපෙරදිග අර්බුදය නිසා ඉන්ධන ලැබීමේ ප්‍රමාදයන් තිබුණ ද, ජනතාවට අවම බලපෑමක් වන සේ බලශක්ති කළමනාකරණය සිදු කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය.














