ඉරානය කේන්ද්‍ර කරගනිමින් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් සැපයුම් ජාලයන් අඩාල වීමත් සමඟ, මැදපෙරදිග බොරතෙල් මිල ලෝකයේ මෙතෙක් වාර්තා වූ ඉහළම අගය දක්වා ඉහළ ගොස් තිබේ. ආසියානු කලාපයට ලබාදෙන බොරතෙල් මිල තීරණය කිරීමේ මිණුම්දණ්ඩක් (Benchmark) ලෙස සැලකෙන ඩුබායි බොරතෙල් බැරලයක මිල අඟහරුවාදා (17) වන විට ඇමරිකානු ඩොලර් 157.66 ක වාර්තාගත අගයක් දක්වා ඉහළ ගිය බව S&P Global Platts දත්ත පෙන්වා දෙයි.
මෙය 2008 වසරේදී බ්‍රෙන්ට් (Brent) බොරතෙල් වාර්තා කළ ඩොලර් 147.50 ක උපරිම අගය ද ඉක්මවා යාමකි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනය යුද්ධය හේතුවෙන් ඇණහිටීම නිසා මැදපෙරදිගින් ආසියාවට සිදුකරන තෙල් අපනයනය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව 32% කින් පමණ පහත වැටී ඇති බව Kpler දත්ත වාර්තා කරයි. සැපයුම අඩාල වීම නිසා ඇති වූ මෙම අසාමාන්‍ය මිල ඉහළ යාම හමුවේ ආසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන සිය නිෂ්පාදන ධාරිතාව අඩු කිරීමට හෝ අප්‍රිකානු සහ ඇමරිකානු කලාපවලින් විකල්ප තෙල් සැපයුම් සොයා ගැනීමට පෙළඹී ඇත.
මිල ගණන් තීරණය කරන ප්‍රධාන දර්ශක දෙකක් වන ඩුබායි සහ ඕමාන් බොරතෙල් මිල මෙලෙස අසාධාරණ ලෙස ඉහළ යාම හේතුවෙන් මැදපෙරදිග තෙල් වෙළඳාම මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව ඇති බව වෙළඳපොළ ආරංචි මාර්ග පවසයි. මෙම තත්ත්වය හමුවේ බ්‍රසීල සහ බටහිර අප්‍රිකානු බොරතෙල් සඳහා වන ඉල්ලුම සහ මිල ද ඉහළ යමින් පවතින අතර, ලෝක බලශක්ති වෙළඳපොළේ පවතින මෙම අස්ථාවරත්වය ඉදිරි මාසවලදී ඉන්ධන මිල කෙරෙහි තවදුරටත් බලපෑම් එල්ල කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














