මැදපෙරදිග යුදමය වාතාවරණය හේතුවෙන් උද්ගතව ඇති ගෝලීය තෙල් අර්බුදය හමුවේ මෙරට සිවිල් ගුවන් සේවා කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා ගත යුතු හදිසි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (17) පැවැත්විණි. වරාය හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව සිවිල් ගුවන්සේවා අධිකාරි පරිශ්‍රයේදී පවත්වා ඇත.
මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු වූයේ මෙරට සතුව පවතින ගුවන්යානා ඉන්ධන (Jet A-1) සංචිත ප්‍රමාණය සහ පවතින සීමිත සම්පත් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. ගෝලීය වශයෙන් ගුවන් සීමා අවහිර වීම සහ ඉන්ධන මිල ඉහළ යාම හමුවේ වුවද, ශ්‍රී ලංකාවට පැමිණෙන සහ පිටත්ව යන ගුවන්යානා සඳහා අවශ්‍ය ඉන්ධන සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය තාක්ෂණික හා පරිපාලනමය ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී නිලධාරීන් දීර්ඝ ලෙස උපදෙස් ලබා දී තිබේ.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්. මංගල මහතා, සිවිල් ගුවන්සේවා අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියහ. අභියෝගාත්මක තත්ත්වයන් යටතේ වුවද මෙරට සිවිල් ගුවන් ක්ෂේත්‍රයේ විශ්වාසනීයත්වය පවත්වා ගැනීම රජයේ මූලික අරමුණ බව මෙහිදී අවධාරණය කෙරිණි.














