පාකිස්තානය තුළ ළමා ආරක්ෂණය සම්බන්ධයෙන් පවතින බරපතල තත්ත්වය නිරූපණය කරමින්, 2025 වසර තුළ එරටින් ළමා අපයෝජන සිද්ධීන් 3,630ක් වාර්තා වී ඇති බව ඉස්ලාමාබාද් නුවර පදනම් කරගත් ‘Sahil’ රාජ්‍ය නොවන සංවිධානය අනාවරණය කරයි. මෙය පෙර වසරට (2024) සාපේක්ෂව සියයට 8ක අවාසනාවන්ත වර්ධනයක් වන අතර, එම දත්තයන්ට අනුව පාකිස්තානය තුළ දිනකට දරුවන් 9 දෙනෙකුට වඩා විවිධ අපයෝජනයන්ට ලක්වන බව තහවුරු වී ඇත.
වාර්තාවට අනුව වින්දිතයන් අතර ගැහැණු ළමයින් 1,924ක්, පිරිමි ළමයින් 1,625ක් සහ අලුත උපන් බිළිඳුන් 116ක් සිටින බව සටහන් වේ. වඩාත්ම කණගාටුදායක කරුණ වන්නේ වයස අවුරුදු 6 සිට 15 දක්වා වයස් කාණ්ඩයේ පසුවන දරුවන් වැඩි වශයෙන් මෙම ප්‍රචණ්ඩත්වයට ගොදුරු වී තිබීමයි. මීට අමතරව, සමාජ මාධ්‍ය හරහා ළමයින් හඳුනාගෙන ඔවුන්ව අපයෝජනයට ලක් කිරීමේ නව ප්‍රවණතාවක් ද මතුවෙමින් පවතින බවත්, දරුවන්ගේ සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම දැඩි නීතිමය පියවර සහ සමාජ දැනුවත් කිරීම් අවශ්‍ය බවත් ‘Sahil’ සංවිධානය සිය වාර්තාව මගින් අවධාරණය කරයි.














