පවතින බලශක්ති අර්බුදය හමුවේ ධීවර ක්ෂේත්‍රයේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම සඳහා විශේෂ ඉන්ධන කළමනාකරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය බී. කේ. කෝලිත කමල් ජිනදාස මහතා පවසයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී ගනු ලැබූ තීරණවලට අනුව මෙම සහන සැලසීමට නියමිතය.
බහුදින ධීවර යාත්‍රා සඳහා ධීවර වරායන් හරහා ඉන්ධන ලබාදෙන අතර, යාත්‍රා අධීක්ෂණ පද්ධතිය (VMS) මඟින් ගමන් තොරතුරු තහවුරු කර අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය විධිමත්ව කළමනාකරණය කෙරේ
දෛනිකව ක්‍රියාත්මක වන එක්දින සහ කුඩා පන්න යාත්‍රා 30,000ක් පමණ පවතින අතර, එක් යාත්‍රාවකට දිනකට ලීටර් 25 බැගින් දින 5කට වරක් ඉන්ධන නිකුත් කිරීමට තීරණය කර ඇත. මෙය ධීවර දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පිරවුම්හල් 100කට ආසන්න ප්‍රමාණයක් හරහා ධීවර නිලධාරීන්ගේ නිර්දේශය මත සිදු කෙරේ
ඩෙල්ෆ් දූපත සහ බත්තලංගුණ්ඩුව වැනි දුෂ්කර ප්‍රදේශවල ධීවරයින්ගේ අවශ්‍යතා වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යාංශය පෙන්වා දෙයි
මීට අමතරව, මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා සහ ගොවිපොළවල ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධන තොග ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) සමඟ ඇති කරගන්නා විශේෂ ගිවිසුම් මත ලබාගත හැකි බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම පියවර හරහා මත්ස්‍ය අපනයන ක්ෂේත්‍රය අඩාල වීම වැළැක්වීමට රජය අපේක්ෂා කරයි.














