පවතින ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය රාජකාරි සඳහා සහභාගී වීමට මුහුණ දීමට සිදුව ඇති ඉන්ධන ගැටලුව විසඳීමට රජය නව වැඩපිළිවෙළක් සකස් කර තිබේ. මෙම වගකීම පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය වෙත පැවරීමට කථානායක ජගත් වික්‍රමරත්න මහතා පියවර ගෙන ඇත.
යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතා ඊයේ (17) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ යාපනයේ සිට කොළඹට පැමිණීම සඳහා තමන්ට ලැබෙන්නේ ලීටර් 15ක ඉන්ධන ප්‍රමාණයක් පමණක් බවයි. එම ප්‍රමාණය දුර බැහැර සිට පැමිණෙන මන්ත්‍රීවරුන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව ඔහු පෙන්වා දුන්නේය
පවතින QR කේත ක්‍රමය යටතේ මන්ත්‍රීවරුන්ට ද සාමාන්‍ය ජනතාව මෙන් පෝලිම්වල රැඳී සිටීමට සිදුව ඇති අතර, එය සභා වාරවලට සහභාගී වීමේදී බාධාවක් බව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම අවධාරණය කර ඇත
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා ද සඳහන් කළේ මන්ත්‍රීවරුන් මේ වන විට කිසිදු විශේෂ වරප්‍රසාදයක් නොමැතිව සාමාන්‍ය ජනතාව සමඟ පෝලිම්වල රැඳී සිටින බවයි
මැදපෙරදිග යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම අඩාල වීම නිසා රජය මේ වන විට සතියකට දින 4ක සේවා මුර ක්‍රමයක් සහ බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ. මන්ත්‍රීවරුන්ගේ මෙම ගැටලුව සඳහා වෙනම QR කේත ක්‍රමයක් හෝ විධිමත් යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇති අතර, ඒ පිළිබඳ අවසන් තීරණය මහලේකම්වරිය විසින් ඉදිරියේදී සභාවට දැනුම් දෙනු ඇත.














