මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හමුවේ මතුව ඇති ගෝලීය අවිනිශ්චිතතාවයෙන් මෙරට ආර්ථිකය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රධාන යෝජනා පහක් ලංකා වාණිජ මණ්ඩලය (Ceylon Chamber of Commerce) විසින් අද (18) රජය වෙත ඉදිරිපත් කරන ලදී. සැපයුම් ජාලයන් අඩාල වීමේ අවදානම සැලකිල්ලට ගෙන, සීමිතව පවතින විදේශ විනිමය සහ ඉන්ධන වැනි සම්පත් වඩාත් කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාවය එම මණ්ඩලය අවධාරණය කර සිටී.
වාණිජ මණ්ඩලයේ පළමු යෝජනාව වන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සහ ප්‍රමුඛතම ආර්ථික අංශ කඩිනමින් හඳුනාගෙන, ඉන්ධන හෝ විනිමය හිඟයක් ඇති වුවහොත් එම අංශ වෙත ප්‍රමුඛතාවය ලබා දීමයි. දෙවනුව, ඉන්ධන ලබා ගන්නා මූලාශ්‍ර විවිධාංගීකරණය කරමින් සංචාරක ක්ෂේත්‍රය සඳහා අත්‍යවශ්‍ය ගුවන්යානා ඉන්ධන (Aviation Fuel) අඛණ්ඩව ලබා දීමට පියවර ගත යුතුය. තෙවන යෝජනාව ලෙස, අපනයන කර්මාන්ත සහ සංචාරක ව්‍යාපාරයන්ට අවශ්‍ය ඉන්ධන විදේශ විනිමය පදනම මත ස්වාධීනව ආනයනය කිරීමට දේශීය බන්කර් (Bunkering) සමාගම්වලට අවසර දීම මගින් දේශීය සැපයුම මත ඇති පීඩනය අවම කළ හැකි බව වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.
සිව්වනුව, ඉන්ධන පිරිමැසීම අරමුණු කරගනිමින් නිවසේ සිට වැඩ කිරීමේ (Work-from-home) ක්‍රමවේදය යළි හඳුන්වා දීම සහ එළඹෙන අවුරුදු නිවාඩුවට පෙර පාසල් හා විශ්වවිද්‍යාල කලින් වසා දමා මාර්ගගත ඉගැන්වීම් (Online learning) සිදු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු කළ යුතුය. අවසාන වශයෙන්, අත්‍යවශ්‍ය නොවන දේ සඳහා විදේශ විනිමය වැය කිරීම සීමා කරමින් ඉන්ධන, ආහාර, ඖෂධ සහ අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව ලංකා වාණිජ මණ්ඩලය සිය නිවේදනය මගින් වැඩිදුරටත් යෝජනා කර සිටී.














