බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව පවතින නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (18) සිය ස්ථාවරය පැහැදිලි කළේය. ජනාධිපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, අදාළ අධිචෝදනා ගොනු කර ඇත්තේ ‘අමාත්‍ය’ කුමාර ජයකොඩිට එරෙහිව නම් තමන් හෙට දිනයේම ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.
කෙසේ වෙතත්, වත්මන් අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු වී ඇත්තේ ඔහු 2014 වසරේ රජයේ නිලධාරියෙකු ලෙස කටයුතු කළ සමයේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලියකට අදාළව බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙය දැනට අධිකරණය හමුවේ පවතින කරුණක් බැවින් ඒ පිළිබඳ වැඩිදුර විස්තර ප්‍රකාශ කළ නොහැකි වුවද, අල්ලස් කොමිසම වැනි බලයලත් ආයතනවලට ස්වාධීනව විමර්ශන සිදු කිරීමට ඉඩ ලබා දෙන බව ඔහු අවධාරණය කළේය.
පසුගිය පාලන සමයන්හිදී ජනාධිපති ලේකම් කාර්යාලය හරහා කමිටු පත් කර පුද්ගලයන් ‘සුද්ධ කිරීමේ’ සම්ප්‍රදායක් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, තමන් කිසිසේත්ම එවැනි ක්‍රියාවලියකට සම්බන්ධ නොවන බවත් නීතියට ස්වාධීනව ක්‍රියාත්මක වීමට ඉඩ දෙන බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.














