තිස්සමහාරාමය – වීරවිල, “තුරු සෙවන” ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) අයත් බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ දරුණු අනතුරට ආසන්න කුඹුරක පිදුරු ගොඩක් ගිනි තැබීමෙන් මතු වූ ඝන දුමාරය ප්‍රධාන වශයෙන් බලපා ඇති බවට සැක කෙරේ. පුද්ගලයන් සිව්දෙනෙකුට මරු කැඳවමින් තවත් 40 දෙනෙකුට පමණ තුවාල සිදු කළ මෙම අනතුර සිදුවන අවස්ථාවේදී, මාර්ගය පුරා පැතිර ගිය දුමාරය හේතුවෙන් රියදුරන්ගේ දෘශ්‍ය පථය (Visibility) සම්පූර්ණයෙන්ම අඩාල වී තිබූ බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේදී එක් බස් රථයක් පිටුපසින් යතුරුපැදියකින් ගමන් කළ පුද්ගලයෙකු ප්‍රකාශ කර සිටියේ, එම අවස්ථාවේදී මාර්ගය ඝන දුමාරයෙන් වැසී තිබූ බවත් රියදුරන්ට ඉදිරියෙන් එන වාහන හඳුනා ගැනීමට නොහැකි වන්නට ඇති බවත්ය. කුඹුරුවල පිදුරු ගිනි තැබීම නිසා ඇතිවන මෙවැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව මීට පෙරද බලධාරීන් අනතුරු අඟවා තිබූ පසුබිමක මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත.














