මෙහෙයුම් අවශ්‍යතා හේතුවෙන් මැදපෙරදිග ගමනාන්ත කිහිපයක් සඳහා සැලසුම් කර තිබූ ගුවන් වාර ගණනාවක් අවලංගු කිරීමට ශ්‍රීලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ. ඒ අනුව, 2026 මාර්තු 19 සහ 20 යන දිනවල කොළඹ සහ ඩුබායි අතර ක්‍රියාත්මක වීමට තිබූ UL231 සහ UL232 ගුවන් වාර අවලංගු කර ඇති බව එම ගුවන් සේවය නිවේදනය කළේය. මීට අමතරව, කොළඹ සිට දම්මාම් (UL253/UL254), දෝහා (UL217/UL218) සහ කුවේට් (UL229/UL230) දක්වා ක්‍රියාත්මක වන ගුවන් වාර 2026 මාර්තු 28 වනදා දක්වා අත්හිටුවා තිබේ.
මෙම තීරණය හේතුවෙන් අපහසුතාවයට පත්වන මගීන්ට සිය ගුවන් ගමන් වල වත්මන් තත්ත්වය පිළිබඳව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ නිල වෙබ් අඩවිය හෝ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස උපදෙස් දී ඇත. තවද, බලපෑමට ලක්වූ මගීන්ට වැඩිදුර සහාය ලබා ගැනීම සඳහා ගුවන් සේවයේ ගෝලීය ඇමතුම් මධ්‍යස්ථානය (Global Contact Centre) හෝ අදාළ සංචාරක නියෝජිතයන් සම්බන්ධ කර ගන්නා ලෙස දන්වා සිටී.
මෙම ගුවන් වාර අවලංගු කිරීම සම්බන්ධයෙන් ගුවන් සේවය සිය කණගාටුව පළ කර ඇති අතර, මගීන් දක්වන සහයෝගයට ස්තූතිය ද පුද කර සිටියි. මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම් තත්ත්වය සහ මෙහෙයුම් දුෂ්කරතා මෙම තීරණයට බලපා ඇති බව වාර්තා වේ.














