සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වන අසත්‍ය තොරතුරු (Misinformation) සහ නොමඟ යවන සුළු තොරතුරු (Disinformation) පාලනය කිරීම සඳහා ගත හැකි ප්‍රායෝගික පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ මෙටා (Meta) සමාගමේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (18) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි. මෙහිදී අන්තර්ජාලය ඔස්සේ නිවැරදි තොරතුරු ප්‍රචාරය කිරීම ප්‍රවර්ධනය කිරීම සහ අසත්‍ය තොරතුරු ව්‍යාප්ත වීම වැළැක්වීමේ ක්‍රමවේදයන් කෙරෙහි දෙපාර්ශවයේම දැඩි අවධානය යොමු විය.
මෙම සාකච්ඡාවේදී “රටම එකට” ජාතික වැඩසටහන යටතේ ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර පවතින සහයෝගීතාවය පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර, විශේෂයෙන්ම නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහිව සටන් කිරීම සඳහා මෙටා වේදිකාවන් (Facebook, Instagram, WhatsApp) භාවිතා කිරීම පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් විය. මත්ද්‍රව්‍ය මර්දනය සහ පුනරුත්ථාපන කටයුතු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ ව්‍යාපාර සඳහා සිය උපරිම සහයෝගය ලබාදීමට මෙටා නියෝජිතයෝ මෙහිදී එකඟතාව පළ කළහ.
මෙම අවස්ථාවට මධ්‍යම ආසියාව, මොංගෝලියාව, ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා මෙටා පොදු ප්‍රතිපත්ති ප්‍රධානී සේනුර අබේසේකර, දකුණු ආසියානු පොදු ප්‍රතිපත්ති සහකාර කළමනාකරු තෙහාරා පුංචිහේවා, ආසියා පැසිෆික් කලාපීය ආරක්ෂණ ප්‍රතිපත්ති ප්‍රධානී ප්‍රියංකා භල්ලා සහ “රටම එකට” ජාතික මෙහෙයුම් කමිටුවේ සාමාජිකා මන්දනා ඉස්මයිල් අබේවික්‍රම යන මහත්ම මහත්මීහු සහභාගී වූහ. මහජන යහපත උදෙසා මෙටා සමාගම සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.














