ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නාමයක් වන අඹේවෙල (Ambewela) ගොවිපළේ පවතින උසස් ප්‍රමිතිය සහ නවීන තාක්ෂණය ඇසින් දැක බලා ගැනීම සඳහා යුරෝපය සහ ජර්මනිය නියෝජනය කරමින් මහා පරිමාණ කෘෂිකාර්මික විශේෂඥයන් සහ ව්‍යවසායකයන් පිරිසක් අද (19) එහි සංචාරයක නිරත වූහ. දකුණු ආසියානු කලාපයේ පිරිසිදුම කිරි නිෂ්පාදනය කරන බවට අඹේවෙල සතු කීර්තිනාමය පරීක්ෂා කිරීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ විය.
මෙම කණ්ඩායම අඹේවෙල ගොවිපළේ පවතින අති නවීන ගව මඩු, ස්වයංක්‍රීය කිරි දෙවීමේ පද්ධති සහ දැඩි ගුණාත්මක පාලන ක්‍රමවේදයන් සියුම් ලෙස නිරීක්ෂණය කළහ. බ්‍රිතාන්‍යයේ ගවයන් 900ක් සහිත ගොවිපළක් පවත්වාගෙන යන සූ ලුවිස් (Sue Lewis) මහත්මිය ඇතුළු නියෝජිත පිරිස ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව වැනි රටක මෙතරම් ඉහළ මට්ටමේ දියුණු තාක්ෂණික ක්‍රමවේදයන් සහිත ගොවිපළක් පවත්වාගෙන යාම තමන්ව පුදුමයට පත් කළ බවයි. අඹේවෙල නිෂ්පාදනය කරන චීස් සහ යෝගට් වැනි අගය එකතු කළ නිෂ්පාදන යුරෝපීය ප්‍රමිතියට හා සමාන බව ඔවුන්ගේ අදහස විය.
මෙම සංචාරයෙන් අනතුරුව අදහස් දැක්වූ නියෝජිත පිරිස කියා සිටියේ, අඹේවෙල ගොවිපළේ පවතින සුන්දරත්වය සහ එහි ක්‍රියාකාරීත්වය විදේශීය සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට තමන් පියවර ගන්නා බවයි. මැදපෙරදිග අර්බුදය හමුවේ ලෝක බලශක්ති සහ ආහාර සැපයුම් දාමයන් අඩාල වෙමින් පවතින මෙවැනි වකවානුවක, දේශීය කිරි නිෂ්පාදනය මෙලෙස ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මහත් ශක්තියක් වනු ඇත.














