පවතින ගෝලීය සහ දේශීය තත්ත්වයන් හමුවේ අපනයන ක්ෂේත්‍රයට එල්ල වී ඇති අභියෝග ජය ගැනීම සඳහා රජය ප්‍රමුඛතාව ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. ක්ෂේත්‍රයේ ප්‍රධාන අපනයනකරුවන් සහ වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. මෙහිදී විශේෂයෙන්ම නිෂ්පාදන සහ සේවා සැපයුම් අංශවලට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීමේදී මුහුණ දීමට සිදුව ඇති බාධාවන් පිළිබඳව ජනාධිපතිවරයාගේ සෘජු අවධානය යොමු විය.
ජාතික ආර්ථිකයේ කොඳු නාරටිය බඳු අපනයන ක්ෂේත්‍රය බිඳ වැටීමට ඉඩ නොදී, උද්ගතව ඇති අර්බුදය කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය යෝජනා රැසක් මෙහිදී සාකච්ඡා කෙරිණි. අපනයනකරුවන් විසින් ඉදිරිපත් කරන ලද ගැටලු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට රජය සූදානම් බවත්, විශේෂයෙන්ම බලශක්ති සැපයුම වැනි අත්‍යවශ්‍ය සේවාවන්හිදී අපනයන අංශයට ප්‍රමුඛතාව ලබා දෙන බවත් මෙහිදී තීරණය විය. මෙම සාකච්ඡාව සඳහා කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ දැවැන්ත ව්‍යාපාරික නායකයන් පිරිසක් එක්ව සිටියහ.
ඇඟලුම්, තේ, රබර් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන ක්ෂේත්‍රවල නියෝජිතයන් මෙහිදී සිය අදහස් ඉදිරිපත් කළ අතර, බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී අෂ්රොෆ් ඕමාර් සහ ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදයේ සභාපති ෆීලික්ස් ප්‍රනාන්දු යන මහත්වරු ද ඒ අතර වූහ. ජාත්‍යන්තර වෙළෙඳපොළේ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයත්වය රැක ගැනීමට නම් නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව මෙම අභියෝග ජය ගැනීමට කටයුතු කිරීම රටේ ආර්ථික ස්ථාවරත්වයට මග පාදනු ඇතැයි අපේක්ෂා කෙරේ.














