ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය (QR) භාවිතා කරන්නන් මුහුණ දෙන තාක්ෂණික ගැටලු සහ ලියාපදිංචි වීමේ දුෂ්කරතා කඩිනමින් නිරාකරණය කර දීම සඳහා විශේෂ සහාය සේවාවක් ආරම්භ කළ බව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනය කරයි. වාහන ලියාපදිංචි කිරීමේදී ඇතිවන ඕනෑම බාධාවකදී මහජනතාවට ක්ෂණික සහාය ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි.
ඒ අනුව, QR පද්ධතිය සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් පවතින්නේ නම් 076 019 1919 යන WhatsApp අංකයට පණිවිඩයක් යොමු කරන ලෙස අමාත්‍යාංශය දැනුම් දෙයි. මෙම සේවාව හරහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සහ මගපෙන්වීම් ලබා දෙන අතර, පද්ධතිය අවභාවිත කිරීම හෝ සිදුවන වංචනික ක්‍රියා පිළිබඳව වාර්තා කිරීමට ද මෙම අංකය භාවිතා කළ හැකිය.
සාධාරණ ලෙස ඉන්ධන බෙදාහැරීම සහතික කිරීම සඳහා රජය ගෙන යන මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මහජන සහයෝගය අපේක්ෂා කරන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. අද දින පමණක් අලුතින් ලියාපදිංචි වූවන් ලක්ෂ 5 ඉක්මවා ඇති පසුබිමක, මෙම නව සහාය සේවාව පරිශීලකයින්ට විශාල පහසුවක් වනු ඇතැයි බලධාරීහු විශ්වාසය පළ කරති.














