බලපත්‍ර නොමැතිව කුඩා ලොරි රථයකින් පෙට්‍රල් ඉන්ධන ලීටර් 65ක් ප්‍රවාහනය කළ පුද්ගලයෙකුට මාස දෙකක අනිවාර්ය සිරදඬුවම් නියම කිරීමට ගල්කිස්ස අංක (01) මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (මාර්තු 20) නියෝග කළේය. මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන සුරක්ෂිතතාව පිළිබඳ දැඩි අවධානයක් යොමුව ඇති වකවානුවක මෙම තීන්දුව ප්‍රකාශයට පත් විය.
ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ පදිංචි සැකකරු වැල්ලවත්ත ගාලු පාරේ රාමක්‍රිෂ්ණ ඉන්ධන පිරවුම්හල ආසන්නයේදී ඉකුත් 18 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව තිබූ ලීටර් 20 ප්ලාස්ටික් බුලි 03ක් සහ ලීටර් 05ක බුලියක බහා තිබූ පෙට්‍රල් තොගය පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරු අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම සිරදඬුවම නියම විය.
සිරදඬුවමට අමතරව රුපියල් 2,500ක දඩයක් ද නියම වූ අතර, එම දඩය නොගෙවන්නේ නම් තවත් මාසයක අමතර සිරදඬුවමක් විඳිය යුතු බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. වර්තමාන බලශක්ති අර්බුදය හමුවේ ඉන්ධන ගබඩා කිරීම සහ ප්‍රවාහනය සම්බන්ධ නීති රීති දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලැබී ඇති බව ද වාර්තා වේ.














