දෙහිවල ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 25ක් වටිනා ඉඩමක් කප්පමක් ලෙස පාතාල කල්ලි වෙත ලබා නොදීම හේතුවෙන් එම ඉඩමේ හිමිකාර හෝටල් ව්‍යාපාරිකයා ඝාතනය කිරීමට තිබූ දරුණු සැලසුමක් පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් හෙළි කරගෙන තිබේ. මෙම ඝාතන සැලසුමට අදාළව ගිනිඅවි සහ ජීව උණ්ඩ සමඟ 18 හැවිරිදි පාතාල සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ගල්කිස්ස, ගුණවර්ධන පාරේ සිදුකළ වැටලීමකදී රිදී පැහැති ගිනිඅවියක්, T56 උණ්ඩ 30ක් සහ මැගසින් ඇතුළු අවි කොටස් රැසක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරු වන “බඩෝවිට අසංක” යන අයගේ සමීපතමයෙකු වන “සැන්ඩෝ” නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකු බව අනාවරණය වී ඇත.
ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී ඇත්තේ අදාළ ව්‍යාපාරිකයා ඝාතනය කිරීම සඳහා මෙම අවි සූදානම් කර තිබූ බවයි. එමෙන්ම පසුගිය සතියේ දෙහිවල ප්‍රදේශයේ අවන්හලකට එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරය ද මෙම “සැන්ඩෝ” නමැති අපරාධකරුගේ මෙහෙයවීමෙන් සිදුව ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. ඉඩම් කොල්ලකෑම සහ කප්පම් ගැනීම් සම්බන්ධයෙන් මෙම පාතාල කල්ලිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයින්ට දිගින් දිගටම තර්ජනය කර ඇති බව පොලිසිය පවසයි.
















