ඉරානය විසින් කටාර් රාජ්‍යයට අයත් භූමිය ඉලක්ක කරගනිමින් එල්ල කරන ලද ප්‍රහාරය “භයානක උත්සන්න වීමක්” සහ “පිළිගත නොහැකි උල්ලංඝනයක්” ලෙස කටාර් අග්‍රාමාත්‍ය සහ විදේශ අමාත්‍ය ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල් රහ්මාන් අල් තානි මහතා දැඩි ලෙස හෙළා දැක තිබේ. බදාදා (මාර්තු 18) දින කටාර්හි රස් ලෆාන් (Ras Laffan) බලශක්ති සංකීර්ණය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇත.
කටාර් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඉරානය, ඊශ්‍රායලය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ මෙවැනි ප්‍රහාර එල්ල කිරීම කලාපීය ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් වන බවයි. දෝහා නුවරදී තුර්කි විදේශ අමාත්‍ය හකාන් ෆිඩාන් සමඟ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ ඉරානයේ මෙම ක්‍රියාකලාපය “ආක්‍රමණශීලී සහ වගකීම් විරහිත ප්‍රතිපත්තියක්” බවයි.
ගෝලීය බලශක්ති සැපයුමේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන රස් ලෆාන් සංකීර්ණයට එල්ල වූ මෙම ප්‍රහාරය හේතුවෙන් ජාත්‍යන්තර වෙළඳපොළේ බලශක්ති මිල ගණන් ඉහළ යාමට ද මෙය සෘජුව බලපා තිබේ. කලාපීය සාමය ආරක්ෂා කිරීම සඳහා මැදිහත් වන ලෙස ද ඔහු ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ඉල්ලා සිටියේය.














