ඉරානය සමඟ පවතින යුද්ධය ආරම්භ වී දින 20ක් ගතවන විට, එරටට බැලිස්ටික් මිසයිල නිෂ්පාදනය කිරීමට හෝ යුරේනියම් බලගැන්වීමට ඇති හැකියාව (“no capacity”) දැන් සම්පූර්ණයෙන් අහිමි වී ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අද (මාර්තු 20) ප්‍රකාශ කළේය. ජෙරුසලමේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු අවධාරණය කළේ මෙම යුද්ධය බොහෝ දෙනා අපේක්ෂා කරනවාට වඩා ඉක්මනින් අවසන් වනු ඇති බවයි.
ඉරානයේ දැවැන්ත ‘සවුත් පාර්ස්’ (South Pars) ගෑස් නිධියට ප්‍රහාර එල්ල කිරීමේදී ඊශ්‍රායලය තනිවම ක්‍රියා කළ බවත්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව මෙම යුද්ධයට ඇද දැමූ බවට පළවන වාර්තා අසත්‍ය (Fake News) බවත් ඔහු පැවසීය. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ ඉල්ලීමකට අනුව ඉරාන ගෑස් නිධි වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව ඔහු තහවුරු කළේය.
හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය කරන තර්ජනවලින් ලෝකය බිය ගැන්විය නොහැකි බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, ජාත්‍යන්තර මුහුදු මාර්ගවල පවතින මෙවැනි අවහිරතා මඟහැරීම සඳහා විකල්ප මාර්ගවල අවශ්‍යතාවය පෙන්වා දුන්නේය. අරාබි අර්ධද්වීපය හරහා ඊශ්‍රායලය සහ මධ්‍යධරණී වරායන් දක්වා දිවෙන නව තෙල් සහ ගෑස් නල පද්ධති ඉදිකිරීම සිය අනාගත දැක්ම බව ඔහු මෙහිදී සඳහන් කළේය.














