ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි (Sanae Takaichi) අතර ඊයේ (මාර්තු 19) පැවති නිල හමුවේදී, 1941 වසරේ සිදු වූ පර්ල් වරාය ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් දැඩි විවේචනයට ලක්ව තිබේ. ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට පෙර ජපානය වැනි මිත්‍ර රටවල් දැනුවත් නොකළේ මන්දැයි මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදු කර ඇත.
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, “අපි ඒ ගැන කිසිවෙකුට කිව්වේ නැහැ. ‘හදිසි ප්‍රහාර’ (Surprise attacks) ගැන ජපානයට වඩා හොඳින් දන්නේ කවුද? ඇයි ඔබ පර්ල් වරායට පහර දීමට පෙර මට ඒ ගැන නොකිව්වේ?” යනුවෙනි. මෙය විහිළුවක් ලෙස සිදු කළ ද, ඒ වන විට ට්‍රම්ප් මෙලොව ඉපිදවත් නොසිටි බව පෙන්වා දෙමින් බොහෝ දෙනා ඔහුට උපහාසයෙන් යුතුව ප්‍රතිචාර දක්වා තිබේ.
ජපානය විසින් පර්ල් වරායට ප්‍රහාර එල්ල කළේ 1941 දෙසැම්බර් 07 වන දින වන අතර ඩොනල්ඩ් ට්‍රම්ප් උපත ලැබුවේ ඉන් වසර පහකට පමණ පසු එනම් 1946 ජුනි 14 වන දිනයි. “තමන් ඉපදීමටත් වසර 5කට පෙර සිදු වූ ප්‍රහාරයක් ගැන තමන්ට දැනුම් නොදීම ගැන ඔහු ජපානයට දොස් පවරන්නේ කෙසේද?” යනුවෙන් සමාජ මාධ්‍ය පරිශීලකයන් ප්‍රශ්න කර ඇත. මෙම ප්‍රකාශය රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ජපානයට කළ අපහාසයක් ලෙස ද ඇතැම් පිරිස් හඳුන්වා දී තිබේ.














