ඉරානයේ පැවැති ආණ්ඩුවට එරෙහි දැවැන්ත මහජන විරෝධතාවලට සම්බන්ධ වූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (19) උදෑසන එල්ලා මරා දමා ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි. මරාදැමූ පිරිස අතර ඉරාන ජාතික මල්ලවපොර කණ්ඩායමේ සාමාජිකයෙකු වන සාලේ මොහොමඩි (Saleh Mohammadi) නැමති යෞවනයා ද සිටින බව බීබීසී පුවත් සේවය තහවුරු කරයි. ඉකුත් ජනවාරි මාසයේ පැවැති විරෝධතාවලදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් මොවුන් වැරදිකරුවන් බවට ඉරාන ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.
මොවුන්ට එරෙහිව “දෙවියන්ට එරෙහිව යුද්ධ කිරීම” (Moharebeh) යන චෝදනාව ද එල්ල කර තිබූ අතර, මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ වධහිංසා පමුණුවා ලබාගත් පාපොච්චාරණයන් මත පදනම්ව සාධාරණ නඩු විභාගයකින් තොරව මෙම මරණ දඬුවම් ක්‍රියාත්මක කර ඇති බවයි. ඉරාන විදේශ අමාත්‍යවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ විරෝධතාකරුවන්ට මරණ දඬුවම ලබා දීමේ සූදානමක් නොමැති බව වුවද, මෙම ක්‍රියාවත් සමඟ ජාත්‍යන්තර ප්‍රජාව ඉරානයට එරෙහිව දැඩි විවේචන එල්ල කරමින් සිටී. මෙම මරණ දඬුවම් ක්‍රියාත්මක කිරීමට පෙර දින, ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූ බවට චෝදනා ලැබූ ස්වීඩන – ඉරාන ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයෙකු ද ඉරානය විසින් එල්ලා මරා දමන ලදී.
පසුගිය ජනවාරි මාසයේදී ඉරාන මුදල් ඒකකය කඩාවැටීම සහ ඉහළ යන ජීවන වියදමට එරෙහිව ආරම්භ වූ මෙම විරෝධතා පසුව දේශපාලන වෙනසක් ඉල්ලා කෙරෙන දැවැන්ත අරගලයක් දක්වා වර්ධනය විය. මානව හිමිකම් ක්‍රියාකාරීන් පවසන පරිදි මෙම විරෝධතා මර්දනය කිරීමේදී ළමුන් 236 දෙනෙකු ඇතුළු 7,000 කට අධික පිරිසක් ආරක්ෂක අංශ අතින් ජීවිතක්ෂයට පත්ව ඇත. වත්මන් මැදපෙරදිග යුද වාතාවරණය මධ්‍යයේ ඉරානය තුළ සිදුවන මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව ලෝක බලවතුන්ගේ දැඩි අවධානය යොමුව තිබේ.














