ගෝලීය තෙල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ඉරාන තෙල් නැව් මත පනවා ඇති සම්බාධක ඉවත් කිරීමට ඇමෙරිකාව සූදානම් වන බව එක්සත් ජනපද භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් (Scott Bessent) මහතා ඊයේ (මාර්තු 19) ප්‍රකාශ කළේය. මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ඇති වී තිබෙන තෙල් සැපයුම් හිඟය මඟහරවා ගැනීම මෙම සුවිශේෂී ප්‍රතිපත්තිමය වෙනසෙහි අරමුණයි.
භාණ්ඩාගාර ලේකම්වරයා පෙන්වා දෙන්නේ මේ වන විට මුහුදේ නැව්ගත කර ඇති ඉරාන තෙල් බැරල් මිලියන 140ක් පමණ ඉදිරි දින කිහිපය තුළ සම්බාධකවලින් නිදහස් කිරීමට (Unsanction) ඉඩ ඇති බවයි. මෙම දැවැන්ත තෙල් තොගය ලෝක වෙළඳපොළට මුදා හැරීම හරහා ඉදිරි දින 10 සිට 14 දක්වා කාලය තුළ පවතින සැපයුම් හිඟය තාවකාලිකව පියවා ගැනීමටත්, ඒ හරහා මිල ගණන් පාලනය කිරීමටත් අපේක්ෂා කෙරේ.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව දීර්ඝ කාලයක් තිස්සේ බලශක්ති සම්බාධක පැනවූ ඇමෙරිකාව මෙලෙස පසුබෑමකට ලක්වීම (U-turn) විශේෂත්වයකි. මීට පෙර රුසියානු තෙල් සඳහා ද මෙවැනිම තාවකාලික සහන ලබා දීමට ඇමෙරිකාව කටයුතු කළ අතර, වත්මන් තත්ත්වය හමුවේ ඉරානය සම්බන්ධයෙන් ද එම මාවතම අනුගමනය කිරීමට ඔවුන් තීරණය කර ඇති බව පෙනේ.














