පැරණි iOS මෘදුකාංග අනුවාදයන් සහිත iPhone දුරකථනවල පාලනය නීති විරෝධී ලෙස ලබාගෙන දත්ත සොරකම් කළ හැකි ප්‍රබල ‘Spyware’ මෘදුකාංගයක් පිළිබඳව තොරතුරු අනාවරණය වීමත් සමඟ තම උපාංග වහාම යාවත්කාලීන කරන ලෙස ඇපල් (Apple) සමාගම සියලුම පරිශීලකයන්ගෙන් හදිසි ඉල්ලීමක් කරයි. ‘Darksword’ ලෙස හඳුන්වන මෙම අනිෂ්ට මෘදුකාංගය මගින් මිලියන 270 කට අධික iPhone ප්‍රමාණයකට බලපෑම් එල්ල වීමේ අවදානමක් පවතින බව ගූගල් (Google) සහ ලුක්අවුට් (Lookout) වැනි සයිබර් ආරක්ෂණ ආයතන පෙන්වා දෙයි. විශේෂයෙන්ම 2025 වසරේ මාර්තු සහ අගෝස්තු අතර නිකුත් වූ iOS 18.4 සිට 18.6.2 දක්වා වූ පැරණි අනුවාදයන් සහිත දුරකථන මෙහිදී වැඩි වශයෙන් හැකර් ප්‍රහාරයන්ට ලක්වීමේ ප්‍රවණතාවක් පවතී.
සයිබර් පර්යේෂකයන් පවසන පරිදි මෙම Darksword මෘදුකාංගය අතිශය සංකීර්ණ මට්ටමක පවතින අතර, එමඟින් දුරකථනයේ ඇති ඊමේල්, මුරපද, පෞද්ගලික ඡායාරූප සහ ක්‍රිප්ටෝ මුදල් පසුම්බි (Cryptocurrency wallets) පවා සොරකම් කිරීමට හැකියාව ඇත. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ සාමාන්‍ය පරිශීලකයෙකුට තම දුරකථනය මෙවැනි ප්‍රහාරයකට ලක්ව ඇති බව කිසිසේත්ම හඳුනාගත නොහැකි වීමයි. යුක්‍රේනය, චීනය, සවුදි අරාබිය සහ මැලේසියාව වැනි රටවල පිරිස් ඉලක්ක කර ගනිමින් මෙම සයිබර් මෙහෙයුම් දියත් කර ඇති බවට සාක්ෂි හමුවී ඇති අතර, මේවා රුසියානු සහ චීන සයිබර් අපරාධකරුවන්ට සම්බන්ධ බවට ද සැක කෙරේ.
ඇපල් සමාගම අවධාරණය කරන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කරන ලද නවතම iOS 26 මෘදුකාංගය මගින් මෙම සියලුම ආරක්ෂණ සිදුරු වසා දමා ඇති බවයි. එබැවින් තම පෞද්ගලික දත්තවල ආරක්ෂාව තහවුරු කර ගැනීම සඳහා සියලුම පරිශීලකයන් වහාම තම දුරකථන යාවත්කාලීන කළ යුතුය. නවතම iOS 26 මෘදුකාංගය ස්ථාපනය කළ නොහැකි ඉතා පැරණි iPhone මාදිලි සඳහා ද ඇපල් සමාගම විශේෂිත ආරක්ෂණ යාවත්කාලීනයක් (Special Security Update) නිකුත් කර ඇති අතර, එමඟින් ද හැකර් ප්‍රහාර වැළැක්වීමේ හැකියාව පවතී. පෞද්ගලික තොරතුරු සුරක්ෂිත කර ගැනීම සඳහා මෘදුකාංග යාවත්කාලීනව තබා ගැනීම අත්‍යවශ්‍යම පියවර බව ඇපල් සමාගම වැඩිදුරටත් සිහිපත් කරයි.














