මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුදමය තත්ත්වය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල කර ඇති බලපෑම පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ නියෝජිත කණ්ඩායමක් ලබන සතියේ මෙරටට පැමිණීමට නියමිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජුලී කොසැක් මහත්මිය ප්‍රකාශ කළේ, මාර්තු 26 වැනිදා සිට අප්‍රේල් 09 වැනිදා දක්වා මෙම නියෝජිත කණ්ඩායම ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳව සාකච්ඡා කරන බවයි.
මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වන්නේ මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර වැඩපිළිවෙළේ පස්වන සහ හයවන සමාලෝචන කටයුතු සම්පූර්ණ කිරීමයි. විශේෂයෙන්ම වත්මන් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ බලශක්ති මිල ඉහළ යාම, සැපයුම් දාම අඩාල වීම සහ සංචාරක ක්ෂේත්‍රයට එල්ල වී ඇති බලපෑම් පිළිබඳව මෙහිදී ගැඹුරින් විශ්ලේෂණය කිරීමට නියමිතය. රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, පවතින ගෝලීය අවදානම් හමුවේ ශ්‍රී ලංකාවට ලබා දිය හැකි මීළඟ සහයෝගීතා පියවර පිළිබඳව ඔවුන් සිය තක්සේරුව ඉදිරිපත් කරනු ඇත.
ජුලී කොසැක් මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ, මැදපෙරදිග යුද්ධයෙන් පීඩාවට පත් වූ රටවල් සමඟ මූල්‍ය අරමුදල ඉතා සක්‍රීයව කටයුතු කරමින් සිටින බවයි. ප්‍රතිපත්තිමය උපදෙස්, තාක්ෂණික සහාය සහ අවශ්‍ය වුවහොත් මූල්‍යමය ආධාර ලබා දීම සඳහා මූල්‍ය අරමුදල සූදානමින් සිටින බව ඇය අවධාරණය කළාය. මෙම ගැටුමේ කාලසීමාව සහ තීව්‍රතාවය මත ලෝක ආර්ථිකයට සිදුවන බලපෑම තීරණය වන බැවින්, අප්‍රේල් මාසයේදී නිකුත් කිරීමට නියමිත ‘ලෝක ආර්ථික දැක්ම’ (World Economic Outlook) වාර්තාව මගින් ශ්‍රී ලංකාව ඇතුළු අනෙකුත් රටවල ආර්ථික තත්ත්වය පිළිබඳව වඩාත් විධිමත් වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














