ගණේමුල්ල සංජීව නැමති පාතාල කල්ලි නායකයාගේ සමීපතමයෙකු වූ ‘ආමි උපුල්’ යන අය රාගම බටුවත්ත ප්‍රදේශයේදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සමත්ව තිබේ. ඉකුත් වසරේ ජූලි 03 වැනිදා ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසක් විසින් සිදුකළ මෙම වෙඩිතැබීම සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් පසු ප්‍රධාන වෙඩික්කරු පසුගිය 17 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අපරාධයට ප්‍රවාහන පහසුකම් සපයමින් ආධාර අනුබල දුන් 29 හැවිරිදි සැකකරුවෙකු පසුගිය 18 වැනිදා මාදම්පේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් අතර, ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී තවත් තොරතුරු රැසක් අනාවරණය විය. ඒ අනුව, ඉකුත් මාර්තු 07 වැනිදා ජාඇල ප්‍රදේශයේ නිවසකට වෙඩිතැබීමේ සිද්ධියකට ද මොහු සම්බන්ධ බව හෙළි වූ අතර, ඔහුගේ නිවසේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්, පතරොම් 14ක් සහ ව්‍යාජ අංක තහඩු සහිත යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.
විමර්ශන තවදුරටත් ඉදිරියට ගෙන යමින් ‘ආමි උපුල්’ ඝාතනයට ආධාර කළ තවත් 35 හැවිරිදි සැකකරුවෙකු ඊයේ (19) වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. මොවුන් දෙදෙනාම ඉකුත් වසරේ ජූලි 14 වැනිදා මාදම්පේ ප්‍රදේශයේ පුද්ගලයෙකුට කඩුවකින් පහරදී බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියකට ද සම්බන්ධ බවට පොලිසිය අනාවරණය කරගෙන ඇත. දැනට රාගම පොලිස් ස්ථානය භාරයේ පසුවන මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ක්‍රියාත්මකයි.














