පසුගිය සති අන්තයේ මධ්‍යම රාත්‍රියේ මුහුණු ආවරණය කරගත් ඊශ්‍රායල පදිංචිකරුවන් (Settlers) පිරිසක් බටහිර ඉවුරේ කුඩා ගම්මානයකට කඩා වැදී 29 හැවිරිදි කුසායි අබු අල්-කෙබාෂ් නමැති තරුණයාට අමානුෂික ලෙස ලිංගික අතවර කර තිබේ. එම පිරිස ඔහුව බැඳ දමා, නිරුවත් කර, ඔහුගේ ලිංගික අවයව ‘සිප්-ටයි’ (Zip-tie) පටිවලින් තද කර ගම පුරා ඇදගෙන යමින් පහර දී ඇති බව වාර්තා වේ. තමන්ව මරා දමනු ඇතැයි ඒ මොහොතේ සිතුණු බවත්, මෙය තමන්ට සිදුකළ විශාල නින්දාවක් බවත් පීඩාවට පත් තරුණයා CNN නාලිකාව සමඟ ප්‍රථම වරට කැමරාව ඉදිරියේ අදහස් දක්වමින් පවසා සිටියේය.
මෙම සිදුවීම සිදුවන අවස්ථාවේදී එහි රැඳී සිටි ඇමරිකානු සහ පෘතුගීසි ජාතික ස්වේච්ඡා ක්‍රියාකාරීන් දෙදෙනෙකු ද මෙම අමානුෂික ප්‍රහාරය ඇසින් දුටු බව තහවුරු කර ඇත. පදිංචිකරුවන් විසින් තමන්ට ද පහර දී, සිය ගමන් බලපත්‍ර සහ දුරකථන සොරකම් කළ බවත්, පලස්තීන තරුණයාට වධ දෙන අයුරු බලහත්කාරයෙන් බලා සිටීමට සැලැස්වූ බවත් ඔවුහු පවසති. මෙම ප්‍රහාරයේදී කුසායිගේ බිරිඳ, පියා සහ දරුවන්ට ද පහර දී ඇති අතර ඔවුන්ගේ බැටළුවන් සිය ගණනක් ද සොරාගෙන ගොස් තිබේ.
ඊශ්‍රායල පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ මෙම සිදුවීමට සම්බන්ධ සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. ලිංගික අතවර, අසරණ පුද්ගලයෙකුට පහර දීම සහ ජාතිවාදී පදනම මත සිදුකළ අපරාධයක් ලෙස මෙය විමර්ශනය කරන බව බලධාරීහු පවසති. කෙසේ වෙතත්, පලස්තීන වැසියන් පවසන්නේ මෙවැනි පදිංචිකරුවන්ගේ ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායල නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවත්, ඔවුන් මෙම ප්‍රහාර එල්ල කරන්නේ පලස්තීනුවන් ඔවුන්ගේ නිවෙස්වලින් පලවා හැරීමේ අරමුණින් බවත්ය.
ඉරානය සමඟ පවතින යුධ වාතාවරණය මුවාවෙන් ඊශ්‍රායල පදිංචිකරුවන් බටහිර ඉවුරේ සිදුකරන ප්‍රචණ්ඩත්වය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙයි. මේ වන විටත් පලස්තීනුවන් නව දෙනෙකු පමණ මෙලෙස මියගොස් ඇති අතර, ලිංගික අතවර කිරීම නව බිය ගැන්වීමේ ආයුධයක් ලෙස ඔවුන් භාවිතා කිරීම තත්ත්වය තවදුරටත් බරපතල වීමට හේතු වී ඇත.














