වෙළඳ නාවික සේවයේ වසර 22ක අත්දැකීම් සහිත ‘කැප්ටන්’ යන අනුවර්ත නාමයෙන් පෙනී සිටි 67 හැවිරිදි අශෝක් ඛාරත් (Ashok Kharat) නැමැති ප්‍රකට සංඛ්‍යා විද්‍යාඥයා සහ ජ්‍යොතිෂවේදියා, ස්ත්‍රී දූෂණ චෝදනාවක් මත අත්අඩංගුවට ගැනීමත් සමඟ ඔහුගේ අතිවිශාල ධනස්කන්ධය සහ ප්‍රභූ සබඳතා පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ නාෂික් පොලිසිය මඟින් සිදු කරන විශේෂ විමර්ශනවලට අනුව, මොහු එක් නිවසකට හෝ කාර්යාලයකට ගොස් උපදෙස් ලබා දීම සඳහා රුපියල් ලක්ෂ 50ක තරම් ඉහළ ගාස්තුවක් අය කර ඇති බව හෙළි වී ඇත.
අශෝක් ඛාරත්ට සම්බන්ධ කෝවිලක් වෙත 2022 වසරේදී එවකට මහාරාෂ්ට්‍ර මහ ඇමති ඒක්නාත් ෂින්ඩේ මහතා ද පැමිණ ඇති අතර, මහාරාෂ්ට්‍ර කාන්තා කොමිසමේ සභාපතිනී රූපාලි චක්කන්කර් (Rupali Chakankar) විසින් ඛාරත්ගේ පාද සෝදන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබේ. එමෙන්ම ඇය ඔහු වෙනුවෙන් කුඩයක් ඉහළාගෙන සිටින ඡායාරූප ද ප්‍රසිද්ධ ක්‍රියාකාරිනියක වන අංජලි දමනියා විසින් හෙළි කර ඇත.
නාවික සේවයෙන් විශ්‍රාම ලැබීමෙන් පසු තමන් උපන් කහන්දල්වාඩි ගම්මානයට පැමිණි ඔහු, ඉංග්‍රීසි, හින්දි සහ මරාති භාෂා හැසිරවීමේ දක්ෂතාවය යොදා ගනිමින් ජනතාවගේ උපන් දිනයන් සහ නම් පදනම් කරගෙන සංඛ්‍යා විද්‍යාත්මක උපදෙස් ලබා දීම ආරම්භ කර තිබේ. සාම්ප්‍රදායික පූජකවරුන්ට වඩා වෙනස් ඔහුගේ ‘නාවික නිලධාරී’ පෙනුම සහ අත්දැකීම් හේතුවෙන් දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන් සහ නළුවන් විශාල වශයෙන් ඔහු වටා රොක් වී ඇත.
බිය සහ විශ්වාසය ආයුධයක් කර ගනිමින් මොහු විසින් රුපියල් කෝටි 100ක අධිරාජ්‍යයක් ගොඩනගා ඇති බවත්, එය පිටුපස ලිංගික සූරාකෑමේ ජාලයක් පවතින බවත් සැක කෙරේ. මැතිවරණ ජයග්‍රහණ සහ ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳ අනාවැකි කීමට මොහු ප්‍රභූන් අතර ඉතා ප්‍රසිද්ධියක් උසුලා ඇත. කෙසේ වෙතත්, ඇතැම් දේශපාලනඥයන් පවසන්නේ ඔහු හුදු වංචාකරුවෙකු පමණක් බවයි.














