ලොව සුප්‍රසිද්ධ Aman රිසෝට් ජාලයේ නිර්මාතෘ ඒඩ්‍රියන් සෙචා (Adrian Zecha) විසින් ජපානයේ අතිශය සුඛෝපභෝගී සහ සුවිශේෂී සංකල්පයකට අනුව නිම කළ ‘Azuma Farm Koiwai’ රිසෝට් එක ලබන අප්‍රේල් 23 වනදා විවෘත කිරීමට නියමිතය. ජපානයේ ඉවාටේ (Iwate) ප්‍රාන්තයේ පිහිටි වසර 130ක් පැරණි කොයිවායි ගොවිපළ (Koiwai Farm) පරිශ්‍රයේ මෙය ඉදි කර ඇති අතර, මෙය Adrian Zecha ගේ Azumi සන්නාමය සහ නැගෙනහිර ජපාන දුම්රිය සමාගම (JR East) එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියකි. සොබාදහම සහ ප්‍රාදේශීය ප්‍රජාව සමඟ සමීපව ජීවත් වන “ගොවිපළ ජීවිතය” (Farm life) අත්විඳීමට මෙහිදී සංචාරකයන්ට අවස්ථාව හිමි වේ.
අක්කර අටක වනාන්තර ප්‍රදේශයක විහිදී ඇති මෙම රිසෝට් එකෙහි ඇත්තේ අමුත්තන් සඳහා වූ කාමර 24ක් පමණි. කියෝතෝ නුවර සුප්‍රසිද්ධ රොක්කාකුයා (Rokkakuya) ආයතනයේ ශිරෝ මියුරා විසින් මෙය නිර්මාණය කර ඇති අතර, ගොඩනැගිලි ඉදිකිරීම සඳහා එම ගොවිපළෙන්ම ලබාගත් රතු පයින් සහ සයිප්‍රස් ලී වැනි ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කර තිබේ. එසේම මෙහි වර්ග මීටර් 89ක විශාලත්වයෙන් යුත් සෝනා (Sauna) මණ්ඩප තුනක් ද පිහිටා ඇත.
මෙහි ඇති අවන්හල මඟින් ගොවිපළේ නිෂ්පාදනය කරන නැවුම් කිරි නිෂ්පාදන, එළවළු සහ පලතුරු මෙන්ම සැන්රිකු (Sanriku) වෙරළ තීරයෙන් ලබාගන්නා නැවුම් මුහුදු ආහාර භාවිතා කරමින් සකස් කළ සුවිශේෂී ආහාර වේලක් අමුත්තන්ට පිරිනමයි. මීට අමතරව අශ්වයන් පැදීම සහ දේශීය කර්මාන්ත පිළිබඳ අත්දැකීම් ලබා ගැනීමට ද අමුත්තන්ට අවස්ථාව සලසා දී ඇත.
ටෝකියෝ නුවර සිට ෂින්කන්සන් (Shinkansen) අධිවේගී දුම්රියෙන් පැය දෙකයි විනාඩි 20කින් මොරිඕකා (Morioka) දුම්රිය ස්ථානයට පැමිණිය හැකි අතර, එතැන් සිට විනාඩි 25ක පෞද්ගලික ප්‍රවාහන සේවාවක් මඟින් රිසෝට් එක වෙත ළඟා විය හැකිය. ලොව ධනවත්ම සහ ජනප්‍රියම පුද්ගලයන්ගේ ආකර්ෂණය දිනාගත් Aman රිසෝට්ස් නිර්මාතෘගේ මෙම නවතම මැදිහත්වීම ජපානයේ සංචාරක ක්ෂේත්‍රයේ නව පෙරළියක් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.














