එළඹෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයන්ට සහන සැලසීමේ අරමුණින් “සතොස අවුරුදු සිරි” විශේෂ වෙළඳ ප්‍රවර්ධන වැඩසටහන අද (20) සිට දිවයින පුරා පිහිටි ලංකා සතොස ශාඛා මගින් ආරම්භ කර තිබේ. වෙළඳ අමාත්‍යාංශය පවසන පරිදි, මෙම වැඩසටහන යටතේ අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 600ක් සඳහා 40% දක්වා ඉහළ මිල අඩු කිරීම් ලබා දී ඇත.
අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේ, මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් කලින් හඳුනාගෙන මාර්තු මස මුල සිටම රජය සූදානම් වූ නිසා, වෙළඳපොළේ පවතින මිලට වඩා අඩු මිලට හිඟයකින් තොරව භාණ්ඩ ලබා දීමට හැකි වී ඇති බවයි. “සතොස හරහා ලාභ ලැබීමට වඩා මේ මොහොතේ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනයට සහනයක් වීම රජයේ ප්‍රධාන අරමුණ” බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
සතොස ශාඛා 430ක් හරහා මෙම සහන මිල ගණන් උත්සව සමය අවසන් වන තෙක් ක්‍රියාත්මක වේ. එසේම රුපියල් 2,500කට වඩා වැඩි මිලදී ගැනීම් සිදු කරන පාරිභෝගිකයන් සඳහා විශේෂ තෑගි කූපන් පතක් හිමිවන අතර, අප්‍රේල් මස අවසානයේ පැවැත්වෙන මහා වාසනාවන්ත දිනුම් ඇදීමෙන් BAW විදුලි මෝටර් රථයක් (Electric Car), විදුලි ස්කූටර්, නිවෙස් උපකරණ සහ ස්මාර්ට් ජංගම දුරකථන වැනි වටිනා තෑගි දිනා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.














