විෂමාචාර සහ වෙනස් කොට සැලකීම් වැළැක්වීමේ නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් ඉශ්‍රායල පාපන්දු සම්මේලනයට (IFA) ස්විස් ෆ්‍රෑන්ක් 150,000ක (ඇමෙරිකානු ඩොලර් 190,700ක පමණ) දඩයක් පැනවීමට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) ඊයේ (19) පියවර ගත්තේය. ඉශ්‍රායලයේ ‘බිට්ටාර් ජෙරුසලම්’ (Beitar Jerusalem) ක්‍රීඩා සමාජයේ ආධාරකරුවන් දිගින් දිගටම සිදුකරන ජාතිවාදී හැසිරීම් පාලනය කිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා කිහිපයක් මත මෙම දඩය පනවා ඇත.
FIFA විනය කමිටු වාර්තාවට අනුව, අදාළ ක්‍රීඩා සමාජයේ ප්‍රේක්ෂකයින් විසින් අරාබි ක්‍රීඩකයින් ඉලක්ක කරගනිමින් “ත්‍රස්තවාදීන්” වැනි වාර්ගික අපහාසාත්මක වදන් පැවසීම සහ ජාතිවාදී සටන් පාඨ භාවිත කිරීම බහුලව දක්නට ලැබෙන බව හෙළි වී තිබේ. මෙය ඉශ්‍රායල පාපන්දු සම්මේලනයේ පොදු අසාර්ථකත්වයක් බව පෙන්වා දෙන FIFA ආයතනය, ඉදිරි ජාත්‍යන්තර තරග තුනකදී “වෙනස් කොට සැලකීම් එපා” යනුවෙන් දැක්වෙන බැනර් ප්‍රදර්ශනය කරන ලෙස ද නියෝග කර ඇත. පනවන ලද දඩ මුදලින් තුනෙන් එකක් ජාතිවාදය වැළැක්වීමේ වැඩසටහන් සඳහා ආයෝජනය කළ යුතු බවට ද කොන්දේසි පනවා තිබේ.
කෙසේ වෙතත්, බටහිර ඉවුරේ (West Bank) පිහිටි ඉශ්‍රායල ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන් පලස්තීන පාපන්දු සම්මේලනය ඉදිරිපත් කළ චෝදනා පිළිබඳව තීන්දුවක් දීමට FIFA ආයතනය අපොහොසත් විය. බටහිර ඉවුරේ නීතිමය තත්ත්වය සංකීර්ණ ජාත්‍යන්තර කරුණක් බැවින් ඒ පිළිබඳව මැදිහත් විය නොහැකි බව ඔවුන් පවසයි. පලස්තීන පාපන්දු සම්මේලනය මෙම දඩය පැනවීම අගය කරන අතරම, තම පැමිණිල්ලේ සඳහන් සියලු කරුණු මෙහිදී ආවරණය වී නොමැති බව ද පෙන්වා දී ඇත.














