ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (20) සිය ‘නේටෝ’ (NATO) මිත්‍ර රටවල් දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඔවුන් “බියගුල්ලන්” (Cowards) ලෙස හඳුන්වා දී තිබේ. ඉරානයට එරෙහිව ඇමෙරිකාව සහ ඊශ්‍රායලය දියත් කර ඇති යුද මෙහෙයුම් සඳහා එම රටවල් සහාය පළ නොකිරීම මීට හේතුවයි.
සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ “ඇමෙරිකාව නොමැතිව නේටෝ සංවිධානය යනු කඩදාසි කොටියෙක්” (Paper Tiger) බවයි. හෝර්මුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට සහ නාවික ගමනාගමනය විවෘත කිරීමට සහාය වන ලෙස ඔහු සියලුම මිත්‍ර රටවලින් ඉල්ලා සිටියද, කිසිදු රටක් ඊට සෘජුව මැදිහත් වීමට මෙතෙක් කැමැත්ත පළ කර නොමැත.
පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇරඹි මෙම යුද වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව පෙන්වා දෙන ට්‍රම්ප්, මිත්‍ර රටවල් ඉහළ තෙල් මිල ගැන මැසිවිලි නැගුවද හෝර්මුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමේ “සරල මිලිටරි මෙහෙයුමට” සහාය දීමට ඉදිරිපත් නොවන බවට චෝදනා කළේය. “අපි මේවා මතක තබා ගන්නවා” (We will REMEMBER!) යනුවෙන් පවසමින් ඔහු නේටෝ රටවලට අනතුරු ඇඟවීමක් ද සිදු කර තිබේ.














