විශ්වකීර්තිමත් සටන් කලා ශිල්පියෙකු මෙන්ම සුපිරි ක්‍රියාදාම නළුවෙකු වූ චක් නොරිස් (Chuck Norris) අද (20) උදෑසන අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ පවුලේ සාමාජිකයන් නිල වශයෙන් තහවුරු කර තිබේ. මියයන විට ඔහු 86 වැනි වියේ පසුවිය.
හවායි දූපත්හි කවායි (Kauai) ප්‍රදේශයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ සිය පවුලේ සාමාජිකයන් පිරිවරා සිටියදී බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහුගේ අභාවය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ, “ලෝකයටම ඔහු සටන් කලාකරුවෙක්, නළුවෙක් සහ ශක්තියේ සංකේතයක් වුවත්, අපට ඔහු ආදරණීය ස්වාමිපුරුෂයෙක්, පියෙක් සහ සීයා කෙනෙක්” බවයි.
චක් නොරිස් සිය අසමසම සටන් කලා දක්ෂතා නිසා ලොව පුරා අතිශය ජනප්‍රිය වූ අතර, විශේෂයෙන්ම “Walker, Texas Ranger” ටෙලි මාලාව සහ “Way of the Dragon” චිත්‍රපටයේ බෲස් ලී සමඟ ඔහු කළ සටන සිනමා ඉතිහාසයේ නොමැකෙන මතකයන් වේ. මෑත කාලයේදී ඔහු සම්බන්ධයෙන් නිර්මාණය වූ “Chuck Norris Facts” නමැති හාස්‍යජනක අන්තර්ජාල මතකයන් (Memes) හරහා ඔහු නව පරපුර අතර ද බෙහෙවින් ජනප්‍රිය විය.
පසුගිය සතියේ සිය 86 වැනි උපන්දිනය සැමරූ ඔහු, සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් පවසා සිටියේ “මම වයසට යන්නේ නැහැ, මම තව තවත් ශක්තිමත් වෙනවා” (I don’t age, I level up) යනුවෙනි.














