මධ්‍යම පරිසර අධිකාරිය (CEA) සහ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) එක්ව කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී පොලිතීන් ‘ලන්ච් ෂීට්’ නිෂ්පාදන ආයතනයක් වටලා තිබේ. පසුගිය සඳුදා (10) සිදුකළ මෙම වැටලීමේදී, රජය විසින් තහනම් කර ඇති පොලිතීන් ලන්ච් ෂීට් විශාල තොගයක් නිලධාරීන් භාරයට ගෙන ඇත.
අදාළ කර්මාන්ත ශාලාව තුළ සූදානම් කර තිබූ මෙම තහනම් පොලිතීන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිය භාරයට ගෙන තිබේ. ජාතික පරිසර පනතේ විධිවිධාන ප්‍රකාරව කර්මාන්ත ශාලාවේ හිමිකරුට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව මධ්‍යම පරිසර අධිකාරිය අවධාරණය කළේය.
පවතින පාරිසරික නීතිරීතිවලට පටහැනිව මෙවැනි තහනම් පොලිතීන් නිෂ්පාදන සිදුකරන ආයතන සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව ද බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළහ.














