වීසා බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි ඉන්දුනීසියානු ජාතිකයින් 76 දෙනෙකු මීගමුව, පෝරුතොට ප්‍රදේශයේ සංචාරක හෝටලයකදී අද (20) අත්අඩංගුවට ගෙන තිබේ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස කොටු කර ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් හය දෙනෙකු ද වන අතර, ඔවුන් වයස අවුරුදු 25ත් 35ත් අතර පසුවන්නන් බව වාර්තා වේ. මොවුන් සංචාරක සහ ව්‍යාපාරික වීසා මත මෙරටට පැමිණ ඇති අතර, ඉන් 36 දෙනෙකු සිය වීසා කාලය ඉක්මවා (Overstayed) රැඳී සිට ඇත. ඉතිරි 40 දෙනා වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධී ලෙස මෙරට පදිංචිව සිටි බවට අනාවරණය වී තිබේ.
ආගමන හා විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් පරිදි, අත්අඩංගුවට ගත් සැකකරුවන් වැලිසර රැඳවුම් මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත. ඔවුන් ඉදිරි දින කිහිපය තුළ මෙරටින් පිටුවහල් කිරීමට (Deportation) අවශ්‍ය පියවර ගන්නා බව බලධාරීහු වැඩිදුරටත් සඳහන් කළහ.














