නව දිල්ලියේ සිට කැනඩාවේ වැන්කූවර් බලා පියාසර කළ එයාර් ඉන්ඩියා ගුවන් යානයක්, ගමනාන්ත රටට ඇතුළු වීමට අවශ්‍ය නීතිමය අවසරය නොමැති යානයක් භාවිතා කිරීම හේතුවෙන් ගුවනේදී ආපසු හරවා එන ලද බව වාර්තා වේ. AI185 දරන මෙම ගුවන් යානය දිල්ලි ගුවන් තොටුපළෙන් පෙරවරු 11:34 ට ගමන් ආරම්භ කර ඇති අතර, චීන ගුවන් සීමාවට ඉහළින් පැය හතරක පමණ කාලයක් පියාසර කර තිබියදී මෙම බරපතල අතපසුවීම හඳුනාගෙන තිබේ. පසුව යානය වහාම ආපසු හරවා ඇති අතර, පැය 7යි විනාඩි 54ක ගුවන් ගමනකින් පසු එය ආරක්ෂිතව නැවත දිල්ලි වෙත ගොඩබස්වා ඇත.
මෙම අතපසුවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එයාර් ඉන්ඩියා ආයතනයට කැනඩාව තුළ පියාසර කිරීමට අවසර ඇත්තේ ‘Boeing 777-300ER’ වර්ගයේ යානා සඳහා පමණක් වුවද, මෙම ගමන සඳහා ඔවුන් ‘Boeing 777-200LR’ වර්ගයේ යානයක් යොදා ගැනීමයි. තාක්ෂණික වශයෙන් යානා දෙකම Boeing 777 කාණ්ඩයට අයත් වුවද, නියාමන අවසරය (Regulatory clearance) නොමැති යානයකින් වැන්කූවර් වෙත ඇතුළු වීමට නොහැකි වීම නිසා මෙලෙස යානය ආපසු හැරවීමට සිදුව ඇත. එයාර් ඉන්ඩියා ආයතනය පවසන්නේ මෙය “මෙහෙයුම් දෝෂයක්” (Operational issue) බවත්, මගීන්ට සිදුවූ අපහසුතාවය පිළිබඳව කණගාටුව පළ කරන බවත්ය.
මෙම සිද්ධිය නිසා ගුවන් සමාගමට විශාල මූල්‍ය අලාභයක් සිදුවනු ඇතැයි ගණන් බලා ඇති අතර, Boeing 777 යානයක් සාමාන්‍යයෙන් පැයකට ඉන්ධන ටොන් 8 සිට 9 දක්වා ප්‍රමාණයක් දහනය කරයි. ඒ අනුව මෙම පැය 8ක නිෂ්ඵල ගමන සඳහා වැයවූ ඉන්ධන පිරිවැය සහ මගීන්ට ලබාදුන් හෝටල් පහසුකම් හේතුවෙන් සමාගමට විශාල පාඩුවක් විඳීමට සිදුව තිබේ. අදාළ මගීන් සඳහා පසුදින විකල්ප ගුවන් යානයක් මගින් වැන්කූවර් බලා යාමට කටයුතු සලසා ඇති බව ද වාර්තා වේ.













