ඉරානයෙන් එල්ල වන ආක්‍රමණශීලී ක්‍රියාවන්ට එරෙහිව එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) වෙත යුරෝපා සංගමයේ පූර්ණ සහයෝගය හිමිවන බව එම සංගමය අවධාරණය කර තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක අන්වර් ගර්ගාෂ් සහ ගල්ෆ් කලාපය සඳහා වන යුරෝපා සංගමයේ විශේෂ නියෝජිත ලුයිගි ඩි මායෝ (Luigi Di Maio) අතර පැවති හමුවකදී මේ බව ප්‍රකාශ වූ බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරයි. පවතින කලාපීය උණුසුම් තත්ත්වය හමුවේ ඉරාන ආක්‍රමණවලට මුහුණ දීම සඳහා යුරෝපා සංගමය එමීර් රාජ්‍යය සමඟ ස්ථිරව පෙනී සිටින බවට ලුයිගි ඩි මායෝ මෙහිදී සහතික වී ඇත.
එමෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය තුළ ජීවත් වන දෙලක්ෂයකට අධික යුරෝපීය වැසියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් එරට රජය දක්වන කැපවීම ද යුරෝපා සංගමයේ විශේෂ ඇගයීමට ලක්ව තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වන බාධා සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව දෙපාර්ශ්වයම මෙහිදී සිය අවධානය යොමු කර ඇත. මෙම තීරණයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ බටහිර රටවල් සහ අරාබි රටවල් අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් වී ඇති බව විදේශ වාර්තා පෙන්වා දෙයි.














