නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දුනීසියානු ජාතිකයන් 76 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන් විසින් ඊයේ (20) පස්වරුවේ මීගමුව, පෝරුතොට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. බුද්ධි තොරතුරු මත පදනම්ව එම ප්‍රදේශයේ සංචාරක හෝටලයක් වටලා සිදු කළ මෙම වැටලීමේදී අනාවරණය වී ඇත්තේ මොවුන් සංචාරක සහ ව්‍යාපාරික වීසා මත මෙරටට පැමිණ ඇති බවයි.
අත්අඩංගුවට ගත් පිරිසෙන් 36 දෙනෙකුගේ වීසා කාලය ඉක්මවා තිබූ (Overstayed) අතර ඉතිරි 40 දෙනා වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් එනම් ව්‍යාපාරික හෝ සංචාරක වීසා මත පැමිණ වෙනත් කටයුතුවල නිරත වෙමින් මෙරට රැඳී සිට ඇත. මොවුන් වයස අවුරුදු 25 ත් 35 ත් අතර පසුවන්නන් වන අතර පිරිසට කාන්තාවන් 06 දෙනෙකු ද ඇතුළත් වේ.
ආගමන විගමන පාලක ජනරාල් චමින්ද පතිරාජ මහතාගේ උපදෙස් පරිදි සැකකරුවන් මේ වන විට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ඇති අතර ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල් කිරීමට (Deportation) නියමිතය. ගෝලීය යුදමය වාතාවරණය සහ මෙරට පවතින ආරක්ෂක තත්ත්වය හමුවේ වීසා කොන්දේසි කඩකරමින් රැඳී සිටින විදේශිකයන් සොයා විමර්ශන දැඩි කර ඇති බව බලධාරීන් වැඩිදුරටත් අවධාරණය කරයි.














