ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් මාසයක් පුරා උපවාස ශීලය රැකීමෙන් අනතුරුව සමරනු ලබන ඊදුල් ෆිතර් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කර තිබේ. ඉස්ලාම් ධර්මයේ මූලික කුලුනු පහෙන් එකක් වන රාමසාන් උපවාසය හරහා ලෞකික ආශාවන්ගෙන් දුරස් වී, පරිත්‍යාගය සහ අල්පේච්ඡත්වය වැනි උතුම් ගුණාංග ප්‍රගුණ කිරීමේ වැදගත්කම මෙහිදී ජනාධිපතිවරයා අවධාරණය කර ඇත.
අනෙකාගේ කුසගින්න සහ වේදනාව තමන්ගේ අත්දැකීමක් කර ගනිමින් සහකම්පනය සහ සහෝදරත්වය සමාජය තුළ රෝපණය කිරීම රාමසාන් සමයේ සැබෑ අර්ථය බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි. සාමය, සමානාත්මතාවය සහ සහජීවනය වැනි මානුෂීය වටිනාකම්වලින් බැතිමතුන්ගේ චර්යාව පෝෂණය වන මෙම කාලය මුළු මහත් ලෝකයටම උතුම් ජීවනාදර්ශයක් සපයන බව ද ඔහු සඳහන් කර තිබේ.
වර්තමානයේ ලෝකය මුහුණ දී සිටින දුෂ්කර සහ අභියෝගකාරී තත්ත්වයන් හමුවේ වුවද, රාමසාන් වත්පිළිවෙත්වල ආශිර්වාදයෙන් සියලු දෙනාගේ අයිතිවාසිකම් සහ නිදහස සුරැකෙන සාමකාමී සහ සෞභාග්‍යමත් ලෝකයක් බිහි වේවායි ජනාධිපතිවරයා ප්‍රාර්ථනා කරයි. රජයක් ලෙස මෙරට ආර්ථිකය සහ ජන ජීවිතය පීඩාවකින් තොරව ඉදිරියට ගෙනයාමට කැප වී සිටින බව පවසන ඔහු, සියලු භේද පසෙකලා එම වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට එක්වන ලෙස මුස්ලිම් ජනතාවට ආරාධනා කර සිටී.














