අද (21) සහ හෙට (22) යන සති අන්ත දිනවලදී ද දිවයින පුරා ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අඛණ්ඩව සිදු කරන බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව (CPC) ප්‍රකාශ කළද, අද උදෑසන කොලොන්නාව තෙල් නිමාව වෙත පැමිණි ඉන්ධන බවුසර් රැසක් ඉන්ධන නොලැබීම හේතුවෙන් ආපසු හැරී ගොස් තිබේ.
පසුගිය 20 වනදා විශේෂ ප්‍රකාශයක් කරමින් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සහතික වූයේ, සෙනසුරාදා රාත්‍රියේ ජාතික ඉන්ධන අවසර පත්‍රයේ (QR) කෝටාව යාවත්කාලීන වන බැවින් සති අන්තයේදී ද පර්යන්ත විවෘතව තබා ඉන්ධන නිකුත් කරන බවයි. කෙසේ වෙතත්, අද උදෑසන ඉන්ධන ලබාගැනීමට පැමිණි බවුසර් රියදුරන් පවසා ඇත්තේ පර්යන්තයෙන් ඉන්ධන නිකුත් නොකරන බව දන්වා තමන්ව හරවා යැවූ බවයි.
මැදපෙරදිග පවතින යුදමය වාතාවරණය හමුවේ ඉන්ධන සැපයුම සීමා වී ඇති අතර, මේ වන විට මෙරට තුළ ඉන්ධන නිකුත් කිරීම අංක තහඩුවේ අවසන් අංකය අනුව (ඔත්තේ/ඉරට්ටේ ක්‍රමයට) සිදුවෙමින් පවතී. අද (21) සෙනසුරාදා දින බැවින් ඉන්ධන නිකුත් කළ යුත්තේ අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ අංකයක් වන වාහන සඳහා පමණි. බවුසර් සඳහා ඉන්ධන නිකුත් කිරීමේ මෙවැනි ප්‍රමාදයන් හේතුවෙන් ඉදිරි දිනවලදී පිරවුම්හල් අසල යළිත් දිගු පෝලිම් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව පාරිභෝගිකයෝ පෙන්වා දෙති.














