ප්‍රකට රූපවාහිනී නිවේදිකා සවනා ගුත්‍රිගේ (Savannah Guthrie) 84 හැවිරිදි මව වන නැන්සි ගුත්‍රි අතුරුදහන් වී මාසයකට වැඩි කාලයක් ගත වී ඇතත්, ඇය පිළිබඳ මෙතෙක් කිසිදු නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇරිසෝනාහි පිහිටි ඇයගේ නිවසේ සිටියදී පසුගිය පෙබරවාරි 01 වනදා ඇය පැහැරගෙන ඇති බවට පොලිසිය සැක කරන අතර, වත්මන් විමර්ශනවලට අනුව මෙය ඉතා සැලසුම් සහගතව සිදු කළ පැහැරගැනීමක් (Kidnapping) මිස සොරකමක් (Burglary) නොවන බව තහවුරු වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රකට අපරාධ විද්‍යාඥ ආචාර්ය ඈන් බර්ගස් (Dr. Ann Burgess) පවසන්නේ, පැහැරගැනීමට පැමිණි පුද්ගලයා සතුව පිටේ බඳින බෑගයක් (Backpack) තිබීමෙන් පෙනී යන්නේ ඔහු පැහැරගැනීම සඳහාම සූදානම්ව පැමිණි අයෙකු බවයි. සාමාන්‍ය සොරකමකදී සිදු වන්නේ නිවසේ ඇති දේපළ රැගෙන පලා යාම වුවත්, මෙහිදී නැන්සි ගුත්‍රිව බලහත්කාරයෙන් රැගෙන යාම තුළින් කිසියම් ‘පළිගැනීමේ’ (Revenge) චේතනාවක් හෝ ‘උමතු ලුහුබැඳ යන්නෙකු’ (Deranged Stalker) පිළිබඳ සැකයක් මතුවන බව ඇය පෙන්වා දෙයි.
විමර්ශකයන් විසින් ලබාගත් ආරක්ෂක කැමරා දර්ශනවලට අනුව, වෙස්මුහුණක් පැළඳ ගත් තුවක්කුකරුවෙකු ඇයගේ නිවසට ඇතුළු වන අයුරු දැකගත හැකිය. එසේම ඇයගේ හෘද ස්පන්දන යන්ත්‍රයේ (Pacemaker) දත්ත ද පෙබරවාරි 01 අලුයම 2:28ට පමණ බිඳ වැටී ඇති අතර, එයින් පෙනී යන්නේ එම අවස්ථාවේදී ඇයව නිවසින් පිටතට රැගෙන ගොස් ඇති බවයි. මෙම පැහැරගැනීම සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන අයෙකුට සවනා ගුත්‍රි සහ පවුලේ පිරිස විසින් ඩොලර් මිලියනයක ත්‍යාගයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.














