ඇමරිකාව, ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම සිව්වන සතියටත් දරුණු වෙමින් පවතින පසුබිමක, වොෂින්ටනය විසින් ඉරානය ඉලක්ක කරගනිමින් රහසිගතව ගොඩබිම් හමුදා මෙහෙයුමකට සූදානම් වන බවට ප්‍රබල සාක්ෂි මතුවෙමින් තිබේ. නිල වශයෙන් ආක්‍රමණික සැලසුම් ප්‍රතික්ෂේප කළද, පෙන්ටගනය තුළ සිදුවන විශේෂ සූදානම සහ යුද නෞකා මෙහෙයවන ආකාරය අනුව ඉදිරි දින කිහිපය තීරණාත්මක වනු ඇතැයි ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම පෙන්ටගනය විසින් හදිසි අවස්ථාවකදී ගොඩබිම් භට පිරිස් යෙදවිය හැකි ආකාරය පිළිබඳ විශේෂ සැලසුම් සකස් කිරීමට උපදෙස් දී ඇති අතර, හෝමුස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව්වල ආරක්ෂාව සහ ඉරානයේ ප්‍රධානතම තෙල් අපනයන මධ්‍යස්ථානය වන ‘කාර්ග් දූපත’ ඉලක්ක කරගනිමින් මෙහෙයුම් දියත් කිරීමට එහිදී අවධානය යොමු වී ඇත.
තවත් ප්‍රබල ඉඟියක් වන්නේ දහස් සංඛ්‍යාත මැරීන් භටයන් සහ ප්‍රහාරක ගුවන් යානා රැගෙන යා හැකි ‘USS Tripoli’ වැනි දැවැන්ත උභයජීවී ප්‍රහාරක නෞකා මේ වන විටත් ගැටුම් පවතින කලාපය දෙසට ගමන් කරමින් තිබීමයි. මීට පෙර පැමිණි ‘USS Boxer’ නෞකාව සමඟ එක්ව මෙම බලඇණිය ඉරාන වෙරළට ඔබ්බෙන් ස්ථාපිත කිරීම හරහා ඕනෑම මොහොතක ගොඩබිම් ප්‍රහාරයක් සඳහා අවශ්‍ය පසුබිම සැකසේ. ඉරානයේ ආර්ථිකයේ කොඳු නාරටිය බඳු තෙල් අපනයන මධ්‍යස්ථාන අත්පත් කරගැනීම හෝ ඒවා විනාශ කිරීම හරහා ඉරානය දණගැස්වීමේ උපායමාර්ගයක් පිළිබඳව ඇමරිකානු බලධාරීන් අතර සාකච්ඡා වී ඇති අතර, මෙය හුදු ගුවන් ප්‍රහාරයකින් ඔබ්බට ගිය, ගොඩබිම් හමුදා මැදිහත්වීමක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් පවතී.
ඉන්දීය සාගරයේ දියේගෝ ගාසියා කඳවුරට එල්ල වූ ප්‍රහාරයත් සමඟ ඇමරිකාව සිය හමුදාමය ක්‍රියාමාර්ග තවදුරටත් දැඩි කිරීමට තීරණය කර ඇති බව පෙනේ. මෙම තත්ත්වය හමුවේ ලෝක බලශක්ති සැපයුම සහ මැදපෙරදිග ස්ථාවරත්වය දැඩි අර්බුදයකට ලක්ව ඇති අතර, ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් ද මෙහි ආර්ථික ප්‍රතිඵල පිළිබඳව දැඩි අවධානයෙන් පසුවෙයි. විශේෂයෙන්ම හෝමුස් සමුද්‍ර සන්ධිය වැනි තීරණාත්මක මුහුදු මාර්ගවල ආරක්ෂාව අඩාල වීම ගෝලීය ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාමට සෘජුවම බලපානු ඇතැයි ආර්ථික විශේෂඥයෝ අනතුරු අඟවති.














