ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ බිරිඳ සහ දරුවන්ගේ නඩත්තු කටයුතු වෙනුවෙන් රජය හෝ වෙනත් පාර්ශවයන් වැය කළ මුදල් පිළිබඳව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ආරක්ෂක අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය. ඊයේ (20) පාර්ලිමේන්තුවේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඉදිරිපත් කළ මෙම ප්‍රශ්න මාලාව මගින් විජේවීර මහතාගේ පවුලේ සාමාජිකයින්ගේ නම්, ඔවුන් ජීවත් වූ ස්ථාන, එම කාලසීමාවන් සහ ඔවුන්ගේ නඩත්තුව සඳහා රජය වසරින් වසර වැය කළ මුදල කොපමණද යන්න විමසා තිබුණි.
මීට අමතරව එම පවුලේ නඩත්තු කටයුතු සඳහා යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් දායක වී තිබේද යන්නත්, විදේශ රටවලින් ආධාර ලැබී තිබේද යන්නත් මන්ත්‍රීවරයා මෙහිදී ප්‍රශ්න කළේය. ආරක්ෂක අමාත්‍යවරයා වෙනුවෙන් පිළිතුරු දුන් නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේ අදාළ තොරතුරු රැස් කර පිළිතුරු ලබා දීම සඳහා සති දෙකක කාලයක් අවශ්‍ය බවයි.














