කොළඹ සිට ගාල්ල බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රිය, ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබේ. බූස්ස දුම්රිය ස්ථානයෙන් දුම්රියට ගොඩ වූ පොලිස් නිලධාරීන් සියලුම මැදිරි පරීක්ෂා කර ඇති අතර, එහිදී අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ තවත් පුද්ගලයන් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පිරිස අතර අධිකරණ කිහිපයකින් වරෙන්තු නිකුත් කර තිබූ 36 හැවිරිදි පුද්ගලයෙකු ද සිටින බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වූ මෙම මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 40ක පමණ කණ්ඩායමක් සහ පොලිස් නිල සුනඛයන් ද සහභාගී කරවාගෙන ඇත. මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් ගාල්ල වැලිවත්ත සහ අහංගම ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, සෙසු සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














