අමෙරිකා එක්සත් ජනපදය සමඟ “බරපතල සහ වගකිවයුතු සංවාදයකට” තමන් සූදානම් බව කියුබාව ප්‍රකාශ කර තිබේ. කියුබානු විදේශ අමාත්‍ය බෲනෝ රොඩ්‍රිගස් මහතා මේ බව කියා සිටියේ ලතින් ඇමෙරිකානු සහ කැරිබියන් රාජ්‍යයන්ගේ ප්‍රජා (CELAC) සමුළුව අමතමිනි. කෙසේ වෙතත්, කියුබාවේ දේශපාලන ක්‍රමය හෝ එරට ජනාධිපතිවරයාගේ ධුර කාලය කිසිසේත්ම අමෙරිකාව සමඟ සාකච්ඡා කර තීන්දු කරන කරුණු නොවන බවත්, අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඉඩ නොදෙන බවත් ඔහු එහිදී දැඩිව අවධාරණය කළේය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා ඇති දැඩි තෙල් සම්බාධක (Oil Blockade) හේතුවෙන් කියුබාව මේ වන විට දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. කියුබානු ජනාධිපති මිගෙල් ඩයස් කැනෙල් බලයෙන් පහ කිරීමට වොෂින්ටනය උත්සාහ කරන බවට වාර්තා පළ වීමත් සමඟ, කියුබාව අමෙරිකානු “ආක්‍රමණයකට” පවා සූදානම් වෙමින් සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත. අමෙරිකානු රජය සමඟ සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගැනීමට උත්සාහ කළ ද, කියුබාවේ ස්වෛරීභාවය පාවා නොදෙන බව එරට නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ද මාධ්‍ය හමුවකදී තහවුරු කළේය.














