පසුගිය සති තුනක කාලය තුළ ඉරානයට සිදු වූ සියලු දේපළ හානි සඳහා නිසි වන්දි ලැබෙන තෙක් යුද්ධය නතර නොකරන බව ඉරාන උත්තරීතර නායකයාගේ උපදේශක මොහොසෙන් රෙසායි (Mohsen Rezaei) අවධාරණය කරයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සඳුදා රූපවාහිනිය ඔස්සේ ජාතිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය. සියලු ආර්ථික සම්බාධක ඉවත් කරන තෙක් සහ ඇමරිකානු මැදිහත්වීම් වැළැක්වීම සඳහා ජාත්‍යන්තර මට්ටමේ නීත්‍යානුකූල සහතිකයක් ලැබෙන තෙක් සටන අඛණ්ඩව ගෙනයන බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
ඉරානයේ නව උත්තරීතර නායකයා යටතේ එරට සන්නද්ධ බලකායන් ඉතා ශක්තිමත් ලෙස මෙහෙයුම් දියත් කරමින් සිටින බවත්, සැබවින්ම යුද්ධය මීට සතියකට පෙර අවසන් වීමට තිබූ බවත් රෙසායි මහතා පෙන්වා දුන්නේය. ඇමරිකාව සටන් විරාමයකට සූදානම්ව සිටියද, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු යුද්ධය දිගටම කරගෙන යාමට බලපෑම් කරන බවට ඔහු චෝදනා කළේය. කෙසේ වෙතත්, ඇමරිකාව සමඟ කිසිදු රහස් සාකච්ඡාවක් පවත්වා නොමැති බව ඉරානය දිගින් දිගටම ප්‍රතික්ෂේප කරමින් සිටියි.
මේ අතර, ජනාධිපති ට්‍රම්ප් සිය ‘TruthSocial’ ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මැදපෙරදිග ගැටුම් සමනය කිරීම සඳහා ඉරානය සමඟ ඉතා සාර්ථක සාකච්ඡා පවත්වන බවයි. එම සාකච්ඡා හේතුවෙන් ඉරානයේ බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම දින පහකට කල් දැමීමට ඔහු තීරණය කර ඇත. මෙම තත්ත්වය හමුවේ ලෝක බලශක්ති වෙළඳපොළේ අවිනිශ්චිතතාවය තවදුරටත් පවතින අතර, සෞදි ඇරම්කෝ සමාගම ආසියානු රටවලට තෙල් සැපයුම සීමා කිරීම වැනි තීරණ ද මෙරට ආර්ථිකයට සෘජුව බලපාමින් තිබේ.












