ශ්‍රී ලංකාවේ යෝජිත නව අධ්‍යාපන ඇගයීම් සහ තක්සේරු ක්‍රියාවලිය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය සහ එම ඇගයීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටු සභාපති මහාචාර්ය ලූක් විලියම් හාඩින් (Professor Luke William Harding) මහතා අතර ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා. භාෂා පර්යේෂණ සහ අධ්‍යාපනික තක්සේරුකරණය පිළිබඳ ලොව පිළිගත් විද්වතෙකු වන මහාචාර්ය හාඩින් මහතා මාර්තු 20 සිට 25 දක්වා මෙරට රැඳී සිටිමින් නව අධ්‍යාපන රාමුව සැකසීම සඳහා විභාග දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව ඇතුළු ආයතන ගණනාවක් සමඟ ප්‍රතිපත්තිමය සාකච්ඡා සහ වැඩමුළු පවත්වනු ලබනවා.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ 6 වන ශ්‍රේණියේ සිට ක්‍රියාත්මක වන මොඩියුල පාදක (module-based) ක්‍රමය යටතේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නව ඇගයීම් ක්‍රියාවලියක් හඳුන්වා දෙන බවයි. පන්ති කාමර ක්‍රියාකාරකම් ගුණාත්මකව ඇගයීමට ලක් කිරීම සඳහා ගුරුවරුන්ට පැහැදිලි මාර්ගෝපදේශ ලබාදීමේ අවශ්‍යතාවය ද ඇය මෙහිදී අවධාරණය කළා. ශිෂ්‍යයින්ට හෝ ගුරුවරුන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල නොවන පරිදි, සිසුන්ගේ දක්ෂතා හඳුනාගෙන අධ්‍යාපනික ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වන අයුරින් මෙම ප්‍රතිසංස්කරණ සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් කියා සිටියා.
මෙම සාකච්ඡාව සඳහා නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න, අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, විභාග කොමසාරිස් ජනරාල් ඉන්දික ලියනගේ යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇගයීම් කමිටුවේ සාමාජිකයින් පිරිසක් ද එක්ව සිටියා. පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය බිඳවැටීම වැනි පරිපාලනමය ගැටලු මධ්‍යයේ වුවද, අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙවැනි දිගුකාලීන ප්‍රතිසංස්කරණ සඳහා රජය ප්‍රමුඛතාවය ලබාදීම විශේෂත්වයක්.












