පැසිෆික් සාගරයේ පිහිටි ටොංගා දූපත් රාජ්‍යය ආසන්නයේ අඟහරුවාදා (24) රික්ටර් මාපකයේ ඒකක 7.6 ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) තහවුරු කරයි. භූමිකම්පාවත් සමඟ එරට අගනුවර වන නුකුඇලෝෆා (Nuku’alofa) හි අනතුරු ඇඟවීමේ සංඥා නාද වූ අතර, ජනතාව කලබලයට පත්ව උස් බිම් සහ ගොඩනැගිලි වහල මතට රැස්වන අයුරු විදේශ මාධ්‍ය වාර්තා කර තිබුණි.
මුලින් වෙරළබඩ ප්‍රදේශ සඳහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළද, පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පසුව ප්‍රකාශ කළේ මෙම භූමිකම්පාව පෘථිවිය අභ්‍යන්තරයේ කිලෝමීටර් 238 ක් වැනි ඉතා ගැඹුරින් සිදුව ඇති බැවින් සුනාමි තර්ජනයක් නොමැති බවයි. භූ කම්පනයේ කේන්ද්‍රය නෙයියාෆු (Neiafu) නගරයේ සිට කිලෝමීටර් 150 ක් පමණ දුරින් පිහිටා තිබූ අතර, මේ දක්වා කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් වාර්තා වී නොමැත.














