ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඉන්දීය විදේශ අමාත්‍යවරයා සිය නිල X (ට්විටර්) ගිණුම හරහා තහවුරු කර ඇති පරිදි, මෙම සාකච්ඡාවේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ වත්මන් බටහිර ආසියානු (මැදපෙරදිග) ගැටුම සහ එමගින් කලාපීය ආරක්ෂාවට හා ගෝලීය ආර්ථිකයට එල්ල වන බලපෑම් පිළිබඳවයි.
විශේෂයෙන්ම ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය වාතාවරණය හේතුවෙන් මතුව ඇති බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ ගැටලු මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වී ඇත. ඉන්දියාවේ “අසල්වැසියා ප්‍රථමයෙන්” (Neighborhood First) ප්‍රතිපත්තිය සහ ඉන්දීය සාගර කලාපයේ සාමය හා ආරක්ෂාව උදෙසා වන “Vision MAHASAGAR” වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට මෙහිදී දෙපාර්ශ්වයම එකඟතාව පළ කර තිබේ.
මෙම සාකච්ඡාවේදී බටහිර ආසියානු ගැටුම සහ මැදපෙරදිග කලාපයේ උණුසුම්කාරී තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට සිදුවන ආර්ථික බලපෑම් පිළිබඳව මෙන්ම, ඉන්ධන සැපයුමට එල්ල වී ඇති බාධා හමුවේ දෙරටේ බලශක්ති සුරක්ෂිතතාව සහ සහයෝගීතාව පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු විය. තවද, ඉන්දීය සාගර කලාපයේ නාවික ගමනාගමනය සුරක්ෂිත කිරීම සඳහා වන සමුද්‍රීය ආරක්ෂක ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද අමාත්‍යවරුන් මෙහිදී අදහස් හුවමාරු කරගත්හ.
ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවරත්වය සහ කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඉන්දියාවේ නිරන්තර සහාය හිමිවන බව ද ආචාර්ය එස්. ජයශංකර් මහතා මෙහිදී යළිත් අවධාරණය කර ඇත.














